IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුනින්ද්‍රයාණෙනි කිව්වෙ ඇයි

ලතා - ලතා මගේ සෙනෙහෙලතා , පොඩ්ඩක් කට අඩු වුනා නම්, නන්දක්කගෙ බත් කඩේ, බොනවා වැඩියි, ඇතුළු ප්‍රසංග වේදිකාවේ රිද්මයට සරිලන ගීත ගණනාවක් ගයා ඇති කුමාර ඒකනායක සංගීත ශිල්පියා මීට වසර දහයකට පමණ පෙරදී ලංකාවේ සාද- ,උත්සව – ප්‍රිය සම්භාෂණවලට නැතුවම බැරි ශිල්පියෙකු විය. .ඉන්පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය කුමාර් ගැන නිතර අහන්න නොලැබුණත්, මේ ඊයේ පෙරේදා සිට යූටියුබය, ටික් ටොක් ඇතුළු සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා ඔහු ගැන කතා කරන්න වූයේ, යූ ටියුබය ඔස්සේ දැක ගත හැකි වූ

ඔද තෙද ඇති තෙද බල ඇති

තෙද ගුණ ඇති රවි තෙද ඇති

මුනින්ද්‍රයාණෙනී...

සිරි සමන්ත භද්‍ර මුනින්ද්‍රයාණෙනී...

වීඩියෝව නිසයි. මේ ගැයුම නිසා සමාජ මාධ්‍ය සියල්ල ඔස්සේ ඔහු ගැන කතා කරන්නට පටන් ගත්තා පමණක්ම නොවේ. හොඳ නරක ප්‍රතිචාර සියල්ල ඒ නිසා ඔහුට ලැබෙන බව කියන්නත් පුළුවනි. මේ විදිහට ආයෙත් ගී ලොවට ගිණි පුපුරක් සේ මතුවූ මේ ‘‘'කුමාර්' ගැන හැමෝම විස්තර අහන මොහොතක ඔහු අපට කියන්නෙ මොනවද බලමු.

 

කුමාර් ලංකාවෙද ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙද ?

සති තුනක නිවාඩුවක් ලංකාවෙ ගත කරලා ආයෙත් ඕස්ට්‍රේලියාවට ආවා. සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ වැඩ සිටින මැල්සිරිපුර උමංදාවට ගියේ නිවාඩුවට ආ අවස්ථාවේදියි.

 

ඇයි එකපාරමට එතැනට යන්න හිතුවෙ ?

මෙහෙමයි, කාලයක් තිස්සේ මම ජීවිතයේ සැබෑ සතුට මොකක්ද කියලා සොයමින් සිටියෙ. අපි මොන දේ කළත් ජීවිතයෙ සැබෑ අරුත වටහා ගත යුතුයිනෙ. කාලයක් තිස්සේ බණ ඇහුවා, පොත් කියෙව්වා. නමුත් මගේ හිතට සැබෑ අරුතක් එක් කළේ අපේ සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේගෙ බණක් ඇහුවාමයි. ඍණාත්මකව මගේ මනසේ තිබූ සියලු අදහස් වෙනුවට මට ඇතිවුනේ වඩාත් ධනාත්මක සිතුවිලි. මට යළි අලුත් පණක් ලැබුණා වගේ හැඟීමක් ඇතිවුණේ. ඒ කාලේය මේ ස්වාමීන් වහන්සේට බොහෝ දෙනා බැන වදිමින් සිටියෙ, විවේචනය කරමින් සිටියෙ. ඒත් මට එදාම උන්වහන්සේගෙ බණ සහ කියන දේ සැබෑ ලෙස වටහා ගන්න පුළුවන් වුණා. ඒක අද ඊයේ ඇතිවූ දෙයක් නෙවෙයි. උන්වහන්සේගෙ බණ දිගින් දිගටම අහන්න පටන් ගත්තාම මාව තව තවත් සැහැල්ලු වුණා. ඒ අතරවාරයේදි තමයි උන්වහන්සේ මීට වසර පහ හයකට විතර පෙරදී මෙල්බර්න්වලට වැඩියෙ. ඒ ආ වෙලාවෙ මගේ හිතවතකු නිසා උන්වහන්සේව බැහැ දැක කතා බහ කරන්න ලැබුණ. උන්වහන්සේ බණ කියද්දි, එක එල්ලේ ඒ බණ අහගෙන ඉන්න පුළුවන්. උන්වහන්සේ හරිම උද්යෝගයෙන්, කිසිම කම්මැලිකමක් නැතුව, ඈණුමක්වත් යන්නෙ නැතුව, කිසිම මහන්සියක් නැතුව ඒ විදියට බණ කියද්දි මට මගේ හිතට දැනුණෙ වඩාත් සක්‍රිය බවක්. උන්වහන්සේ හරියට ක්‍රියාශීලියි. හිත එකලස්. අපට වෙලා තියෙන්නෙ හිත එක තැන නැහැ..

 

එතකොට මේ මුනින්ද්‍රයාණෙනි ගීතය කළේ ඒ කාලයේදීද මේ සැරේ ලංකාවට ආවමද?

එදා මෙල්බර්න්වලදි උන්වහන්සේගේ දේශනාවක් ඉවර වුණාට පස්සෙ පසුදා හීල් දානයට යන ගමන් පෙරදා රෑ මම ලිව්ව ගීතය පෙන්වූවා. ඒක වෙන සිංදුවක්. එදා හවස තවත් දේශණාවක් සංවිධානය වෙලා තිබුණා. ඒ වෙලාවෙ දේශණාවට පෙර ඒ ගීතය මට ගයන්න ලැබණා. පසුව දේශනා ඇසුරෙන්ම මට ගීත දහයක් විතර මම නිර්මාණය කළා. ඒ අතරට අයත් ගීතයක් තමයි මුනින්ද්‍රයාණෙනි ගීතයත්. .ඒවා සිරි සදහම් ආශ්‍රමයෙ විවිධ අවස්ථාවලදි ප්‍රචාරය වෙන බව මම දැන ගත්තා. මෙවර නිවඩුවට ආවාම මම උන්වහන්සේව බැහැදකින්න ගියා . එදා හවස දේශණාවට පෙර මට මගේ හිත හදාගත්ත විදිය ගැන ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබුණා. උන්වහන්සේගෙ බණ අහලා මම ධනාත්මකව හිතන්න පටන් ගත්ත විදිය සහ හිත ශක්තිමත් කර ගන්න විදිය ගැන මම එදා පැමිණ සිටි පිරිස ඉදිරියේ ප්‍රකාශ කළා. කළින් නිර්මාණය කළ ගීත ගයන්න අවස්ථාව ලැබුණෙත් ඒ වෙලාවෙදියි. ඒ ගීත අතරට අයත් මේ ගීතය තමයි සමාජ මාධ්‍යවල පසුව දාලා තිබුණෙ. . ඒක අමුතුවෙන් සිදුවූ දෙයක් නෙවෙයි..

කොහොම වුනත් මේ ගීතය ප්‍රචාරය වීමත් එක්ක, සිදුවුණේ වෙනස්ම දෙයක්නෙ. දැන් මේ ගීතය අහන අය විවිධ මත පළ කර තිබුණානෙ? මොකද හිතෙන්නෙ?

මාර්ග ඵල ලබලා නැති හින්දා මුලින් මගේ හිත ටිකක් ගැස්සුණා. නමුත් හොඳ කියන්නෙත් එක් වචනයක් විතරයි. නරක කියන්නෙත් එක් වචනයක් විතරයි. ඒ ප්‍රතිචාර හමුවේ මගේ හිතේ තියෙන ශක්තිමත් බව තවත් වටහා ගන්න පුළුවන් වුණා.

ඒ කියන්නෙ මේ නිසා ඔබ සැලුණේ නැහැ?

පොඩ්ඩක්වත් නැහැ. මට හිනා ගියා විතරයි. ඉතින් මට කියන්න තියෙන්නෙ මුනින්ද්‍රයාණෙනි ගීතයට බැනලා ලේ පුච්චා ගන්නෙ නැතුව මගේ අලුත් ගීතය අහල සනීපයට ඉන්න විදිය ගැන දැන ගන්න. .ඒ ගීතය මම නම් සනීපය කියලයි..

මුනින්ද්‍රයාණෙනි ගීතය මම කළේ හාමුදුරුවන්ගෙන් හොඳ අහන්න නෙවෙයි. උන්වහන්සේගෙ බණ අහලා මට ඇතිවූ මානසික සැහැල්ලුව නිසයි මම ඒ ගීත කළේ. මගේ උපහාරයක් විදියට ඒවා කළේ.

කොහොම වුණත් මේ ගීතය ගැයීම නිසා හාමුදුරුවෝ ඔබට බැන්නාය කියලා එහෙමත් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. ඒක ඇත්තද? හාමුදුරුවෝ බැන්නා නේද?

මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න බලන්නකො. තමුන් ගිණි ගොඩක ඉඳගෙන අනුන්ගෙ දේ දිහා බලනවා. තමුන්ට තියෙන ප්‍රශ්න නිවා ගන්න එපායැ. මොකටද අනුන්ගේ දේ හොයන්නෙ. තමුන්ගෙ දේ බලා ගත්තා නම් ඉවරනෙ. මට බැන්නද නැද්ද කියලා මම උත්තර දෙන්න යන්නෙත් නැහැ. මොකද දන්නවද? මොකටද මම කියන්නෙ ? මේ සමහර මිනිස්සු කිසිම හේතුවක් නැතුව ප්‍රශ්න මවන්න හදනවා. මම මගේ ප්‍රශ්න නිවාගෙන ගත – මනස සැහැල්ලු කර ගනිමින්, ජීවිතය වටහා ගන්න උත්සාහ ගනිමින් ඉන්නෙ. මිනිස්සු කියන අනවශ්‍ය දේ දැන් මට වැඩක්ම නැහැ.

මුනින්ද්‍රයාණෙනි, ගීතය ගැයීම නිසා ඔබගෙ බිරිඳ සහ දරු දෙදෙනා මොනවද කිව්වෙ?

එයාලගෙන් මගේ නිර්මාණ කටයුතුවලට නිතරම සහයෝගයක් ලැබෙන්නෙ. මනුස්සයෙක් වුණාම නිදහසේ නිර්මාණයක් කරන්නෙ ලෝකයට රස විඳින්න. ඒ හැර ජනප්‍රියත්වය ගැන හිතලා නෙවෙයි.

මේක දැන් ලැව් ගින්නක් වගේ ගිහින් ඉවරනෙ. ඕස්ට්‍රේලියාවෙ ඉන්න අය ඔබට මොනවද කියන්නෙ ?

මූණට නම් ඉතින් හොඳ තමයි කියන්නෙ. ඒ හැරත් කවුරු මොනවකා කිව්වත් මට අදාළත් නැහැ. ෆුල් සීරියස් වෙලා නිවන හොයන අයත් ඉන්නවා. මම බොහොම සැහැල්ලු වෙලා ජීවිතය අවබෝධ කරගන්න උත්සාහ ගන්නවා. එක එක්කෙනාගෙ විදිය වෙනස්. අවසානයේ හොඳක් වෙනවා නම් එච්චරයි. දැන් බලන්න මට ප්‍රශ්නයක් නොවූ මේ දේ තව අය ප්‍රශ්න කරගෙන. හාමුදුරුවො මොන වගේ ප්‍රතිචාර මට දැක්වුවත්, ඒවා අනෙක් අයට මොකටද? වැඩක් නැහැනෙ. බුද්ධ්‍ාගම වුනාට සමහරු එහි අකුරක තේරුමවත් දන්නෙ නැහැ. ඒ වගේ අය තමයි අනුන්ගෙ දේ හොයන්නෙ. ඒ වගේ අය ගෙදර ගින්දර, හැබැයි පංසලට ගිහින් වැඳලා එනවා.

 

අද මේ ප්‍රතිචාර නිසා ‘‘කුමාර්’’ගෙ හිත ගැන, නමට වෙන දේ ගැන කියලා හිතෙන්නෙත් නැද්ද?

ඉස්සර මම ගීතයක් කරන්න පෙර මගෙ නමට හොඳ ද නැද්ද අරවා මේවා කියලා හිතනවා. දැන් මම එහෙම හිතන්නෙ නැහැ. පණිවිඩය හරි නම් එච්චරනෙ. මම පුදුමාකාර සතුටක් ලබන්නෙ. මගේ හිත තව තවත් සැහැල්ලු වෙනවා. යන යන තැනදි මේ ගැන මගෙන් අහනවා. සමාජ මාධ්‍යයේ මම වයිරල් වෙලා. ඉතින් එහෙමයි කියලා මට ලොකු සතුටක්වත් වෙන ආඩම්බරකමක්වත් නැහැ. මේවා ඔක්කොම තාවකාලිකයිනෙ. ඒ යථාර්ථය මම හොඳට තේරුම්ගෙන ඉන්නෙ. මේ මොහොතේ සතුටින් සිටින කෙනාගේ ජීවිතය ඊළඟ මොහොතෙදිත් සතුටුම තමයි. කාටවත් ගින්නක් දෙන්නෙ නැහැ කියලා මගේ හිත දන්නවා නම් ඒකම ඇති මගේ සතුටට.

දුවනවා දුවනවා සතුට සොයා... කියලා මම හිත ගැන ගීයක් කළා. ඒ වගේ ‘‘හිත’’ ගැනම කොච්චර කරලා තියෙනවද? බණක් අහලා ජීවිතය තේරුම් ගන්න බැරි සමහර අදවිය සිංදුවකින් කියන පණිවුඩය තේරුම් ගනීවි කියලා මම හිතන්නෙ නැහැ. තේරෙන අය නිශ්ශබ්දව රස විඳිනවා.

ඕස්ට්‍රේලියාවෙ සිටින ඔබ සංගීතය විතරද කරන්නෙ ?

මම හොටෙල් එකක ෆුල්ටයිම් වැඩ කරන්නෙ. අවුරුදු 13ක් තිස්සේ. ඒ අතරෙ මියුසික් එහෙමත් කරගෙන යනවා. පසුගිය කාලයේදි වසර හතක් විතර සංගීතයෙන් ඈත්වෙලා වගේ හිටියෙ. මගේ ළඟම ඥාතීන් කීප දෙනෙක් අකාලයේ මිය ගියා. ඉන් පස්සෙ ඒ සියලු දේ එක්ක උදේ හවස බුදුන් වදින එයාලා එහෙම කර ගත්තෙ ඇයි කියලා මම කල්පනා කළා. ඒ නිසා මට මගේ හිත හොයන්න අවශ්‍ය වුණා. මම ඇහුවෙ බණ. එක එක හාමුදුරුවන්ගෙ බණ ඇහුවා. දැන් මගේ හිත හරි ශක්තිමත්. මගේ හිත ගිණි ගන්නෙ නැහැ දැන්.

- සඳුන් ගමගේ



අදහස් (0)

මුනින්ද්‍රයාණෙනි කිව්වෙ ඇයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site