IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ජාතික සමඟිය වෙනුවෙන් කතා කරන අපට ජාතිවාදී ලේබලය අලවනවා

 

“ඒකාබද්ධ විපක්ෂය බොරු ව්‍යවස්ථා බිල්ලෙක් මවමින් ජාතිවාදය අවුස්සා බලයට ඒමට දඟලන බවට ආණ්ඩුවෙන් චෝදනාවකි. මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා සමග කළ සාකච්ඡාවකි.

 


ප්‍රශ්නය:- මේ මොහොතේ ලංකාවේ දේශපාලනය ඔබ විග්‍රහ කරගන්නේ කොහොමද?
පිළිතුර:- මේ මොහොතේ ලංකාවේ දේශපාලනය අපි දකින විදියට ඉතාම තීරණාත්මක තැනක තියෙන්නේ.


ප්‍රශ්නය:- තීරණාත්මක තැනක කිව්වේ?
පිළිතුර:- එකක් තමයි ඒකාබද්ධ විපක්ෂයට බරපතළ අභියෝගයක් වගේම වගකීමක් පැවරිලා තියෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න යට ගහන්න අවශ්‍ය කරන වාතාවරණය ගොඩ නගන්න. ඒක තමයි ආණ්ඩුවේ උපාය.


ප්‍රශ්නය:- මොනවද ඒ ප්‍රධාන ප්‍රශ්න?
පිළිතුර:- ඔව්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඔවුන්ට අවශ්‍ය පරිදි හා බෙදුම්වාදයට අවශ්‍ය පරිදි  ඔවුන්ගේ පැවැත්ම පිණිස හා බලයට ඒමට බෙදුම්වාදීන්ට දුන් පොරොන්දු වෙනුවෙන් ඒවා ඉටු කරන්න පරිසරයක් හදාගන්න. ඒ වගේම ආර්ථික වශයෙන් දැවැන්ත අභියෝගයක් රට ඉස්සරහා තියෙනවා. හාල් ඇටයක්වත් හොයාගන්න බැරි රටක්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක යට ගහන්න ඕනෑකම තියෙනවා. අනික් පැත්තෙන් වෛද්‍යවරුයි නීතියයි හප්පනවා. මේවා ආණ්ඩුවේ උපායන්. මේවාට අමතරව පුළුවන් නම් ජාතිවාදී ගැටුම් ටිකකුත් හදාගෙන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න බලනවා.


ප්‍රශ්නය:- ඔබ කිව්වා ඒකාබද්ධ විපක්ෂයට බරපතළ අභියෝගයක් හා වගකීමක් තියෙනවා කියලා?
පිළිතුර:- ඔව්. මම අර කියපු තත්ත්වය පරාජය කරන්න ඉන්න නායකයෝ සිරගත කරනවා. අපේ පක්ෂයේ නායක විමල් සහෝදරයව සිරගත කරලා තියෙන්නේ ඒ අර්ථයෙන්ම තමයි. තව තව නායකයන් හිරගෙදරට දක්කන්න, ඒ හරහා භය කරන්න, භය කරලා නිහඬ කරන්න, යටත් කරගන්න උත්සාහ ගන්නවා. මෙන්න මේ විදියට ආණ්ඩුව සැලසුම් සහගතව හා උපාය මාර්ගිකව මේ අවස්ථා පියමන් කරන්න උත්සාහ කරනවා. මේකට අභියෝගාත්මක වන දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ යුතුව තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයට ඒ වගකීම පැවරිලා තියෙනවා. වෙන විපක්ෂයක් නෑනේ මේ රටේ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයට ඒ වගකීම පැවරිලා තියෙනවා. අපි ඒ වගකීම කොතෙක් දුරට ඉටු කරනවාද නැද්ද කියන එක මත තමයි ඉදිරි දේශපාලනය තීරණය වෙන්නේ.


ප්‍රශ්නය:- ඔබ ආණ්ඩුවට චෝදනා කළා ජාතිවාදය අවුස්සනවා කියලා. නමුත් ජාතිවාදය අවුස්සන්නේ ඒකාබද්ධ විපක්ෂය බවටයි චෝදනා කරන්නේ?
පිළිතුර:- ඒකාබද්ධ විපක්ෂයට ජාතිවාදය ඇවිස්සීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. අපි ඉන්නේ බෙදුම්වාදයට එරෙහිවයි. විශේෂයෙන්ම ජාතික නිදහස් පෙරමුණේ අපි හිටියෙත් ඉන්නෙත් බෙදුම්වාදයට එරෙහිවයි. ඒකාබද්ධ විපක්ෂයෙ විවිධ මත තියෙන පක්ෂ හිටියත් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙනස් මත තිබුණත් පොදුවේ බෙදුම්වාදයට විරුද්ධයි. අපි විශ්වාස කරනවා මේක ජාතිවාදය අවුස්සල විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි කියලා. මේක මේ කිහිප දෙනෙකුගේ උවමනාවට දෙමළ දේශපාලනඥයන්ගේ හරි, සිංහල දේශපාලනඥයන්ගේ හරි ඕනෑ එපාකම් මත ආණ්ඩු බලය ගන්න එහාට මෙහාට කරගන්න හෝ බලය තබා ගැනීම සඳහා ජාතිවාදය පාවිච්චි කරන තත්ත්වයක් තියෙනවා. ඒක අපි වෙනම හඳුනා ගන්න ඕනෑ. ඒ නිසා අපි ජාතිවාදීන් නොවෙයි.


ප්‍රශ්නය:- නමුත් ඔබලාගේ ප්‍රකාශ පැත්තෙන් ඒවා ඉතා පටු ජාතිවාදියි කියලා චෝදනා කරන්න පුළුවන්.
පිළිතුර:- මට එහෙම එක ප්‍රකාශයක් පෙන්වන්න. මෙහෙමයි උතුර වෙන් කරනවාට විරුද්ධ වීම ජාතිවාදය නොවෙයි. උතුර වෙන් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා නම් මේ ආණ්ඩුවට එරෙහි වීම ජාතිවාදය නොවෙයි. ඒකට එරෙහි වීම තමයි මේ රටේ ජාතික සමගියට තියෙන හොඳම දේ. අපි යෝජනා කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ මේ සියලු දෙනා එකට සිටිය හැකි රටක්. හැබැයි ඒක ව්‍යවස්ථාවකින් හරි නීතියකින් හරි බෙදන්න ගියොත් නේද බෙදීම තියෙන්නේ? දැන් අපි එකට ඉන්නවා හැළ හැප්පිලි මැද්දේ හරි. තියෙන ප්‍රශ්න ටික මේසයකට අරන් ඇවිත් සාකච්ඡා කරලා විසඳ ගන්නනේ තියෙන්නේ. එහෙම නැතිව ඒක බෙදිලා විසඳන්න බෑ.


ප්‍රශ්නය:- ජාතිවාදීන් නොදුටු ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් බොරු බිල්ලෙක් මවන බවට ජනාධිපති මෛත්‍රී චෝදනා කළා.
පිළිතුර:- එතකොට කමිටු වාර්තාවල මොනවද තියෙන්නේ. ඒ කමිටු වාර්තාවල තියෙන ඒවා ඔබ බැලුවොත් එහෙම ඒ වායේ තියෙන්නේ බෙදීමට අවශ්‍ය නීති හැදීම, ඒ වගේම මනෝ විද්‍යාත්මකව කල්පනා කරනවා නම් යම් යම් දේවල්වලින්  ඈත් කරලා තිබ්බට පස්සේ ටික කාලයක් යනකොට මිනිසුන්ගේ චින්තනය හැදෙනවා, ඒ බෙදීම ඇතුළේ ජීවත් වෙන්න. ඊට පස්සෙ අවදියකදී තමයි බෙදීම නිසා ගැටුම්  හැදෙන්නේ. උදාහරණයක් ගත්තොත් ඔවුන් කල්පනා කරනවා කොහොමද ජල මූලාශ්‍ර ටික බෙදාගන්නේ. එතැනට පත් වෙනවා කියෙන්නෙම බෙදීමනේ. ඒ වෙනුවෙන් තමයි මේ නව ව්‍යවස්ථාව එන්නේ. ඒ නිසා ජාතිවාදීන් අපි නොවෙයි. නමුත් මේ වෙලාවේ අපිට ජාතිවාදීන් කියන ලේබලය අලවන්න ඕනෑ අපට ජාතිවාදීන්  කියලා කිව්වොත් තමයි ඔවුන්ට ඒ අරමුණට යන්න පුළුවන් වෙන්නේ. ජාතික සමගිය වෙනුවෙන් කතා කරන අපව ජාතිවාදීන් බවට  පත් කළ යුතුයි.


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු කියන දෙයක් තමයි විමල්ලා වැනි ජාතිවාදීන් සමඟ නම් සන්ධාන ගත වෙන්නේ නෑ කියලා?
පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සමහරු එහෙම කියලා තිබුණා. හැබැයි ඔවුන් ජාතිවාදීන් කියලා අපට කියනවා නම් මම යෝජනා කරනවා අපිත් එක්ක ඇවිත් කතා කරන්න කියලා. අපි මොකක්ද කියන්නේ කියලා හරියට අහගන්න කියලා. විමල් වීරවංශ, රණවිරුවන් ගැන කතා කිරීම ජාතිවාදී නොවෙයි. විමල් වීරවංශ රණවිරුවන් කියලා කියන්නේ යුද්ධයට ගිය භටයන්ට, රටට සාමය ගේන්න ඇස් ඉස් මස් ලේ හා ජීවිත පූජා කළේ ඔවුන්. ඒ වගේම ඔවුන් යුද්ධ කළේ ප්‍රභාකරන්ට එරෙහිව මිසක් දෙමළ ජනතාවට එරෙහිව නොවෙයි. ප්‍රභාකරන්ට එරෙහිව ආණ්ඩුව යුද්ධ කළේ. ඒ මිනිසුන්ට විරුද්ධව දෙයක් වෙනකොට ඒකට එරෙහිව කතා කිරීම ජාතිවාදය නොවෙයි. ඒ වගේම විමල් වීරවංශ උතුරේ දරුවන් ගැන ඒ ජනතාව වෙනුවෙන් කතා කරනවා. කැබැතිගොල්ලෑවේ දරුවන් ගැන මම කතා කරන එක ජාතිවාදි නෑ. ඒ ළමයින්ව මැරුවෙ දෙමළ ජනතාව නොවෙයි. එල්ටීටීඊ එකයි. ඒකට ජාතිවාදය කියලා කියන්න පුළුවන් වෙන්නේ මෝඩයන්ට විතරයි. මේ රටේ රණවිරුවො, ත්‍රස්තවාදය පරාජය කළ අභිමානවත් පුරවැසින් ගැන කතා කිරීම ජාතිවාදය නොවෙයි. එහෙම නම් ඉතින් ඔක්කොම ජාතිවාදීන් විය යුතුයි. එහෙම නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත් ජාතිවාදී විය යුතුයි. මොකද ඒ වෙලාවෙ එතුමත් ඒ ආණ්ඩුවේ හිටියේ. එහෙම නම් ඒ ආණ්ඩුවම ජාතිවාදියි. ත්‍රස්තවාදය පරාජයට පත් කළාට පස්සේ ඒ රණවිරුවාට සිද්ධ වෙන අසාධාරණය කතා කිරීම ජාතිවාදය නොවෙයි. ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා කියන එක ජාතිවාදය නොවෙයි. එල්ටීටීඊ එකට ත්‍රස්තවාදීන් නොකියා අපි මොකක්ද කියන්න ඕනෑ.? අපි දෙමළ ජනතාවට ත්‍රස්තවාදීන් කිව්වොත් ඒක වැරදියි. දෙමළ දේශපාලන නායකයන්ට අපි ත්‍රස්තවාදීන් කියලා කියන්නේ නැහැනේ. අපි කියන්නේ ඔවුන් රට බෙදන්න උඩගෙඩි දෙන පිරිසක් කියලයි. එදා එල්ටීටීඊ යට උඩගෙඩි දුන්න පිරිසක්. ඒ ගැන කීම ජාතිවාදය නොවෙයි. අපි කියන දේ හරිම සරලයිනේ. වෙනම ඉන්න ඉල්ලන එකනේ ජාතිවාදය. අපි කියන්නේ එකට ඉමු කියලා. ඉතින් අපි ජාතිවාදීන් වෙන්නේ කොහොමද?


ප්‍රශ්නය:- ඔබ උතුරේ දෙමළ දේශපාලන නායකයන්ට ජාතිවාදීන් කියලා කියනවා. ඔබෙයි ඔවුන් අතර ඇති වෙනස?
පිළිතුර:- මම ඒක පැහැදිලි කළානේ. ඔය උතුරේ ඉන්න නායකයෝ ජාතිවාදය වැපුරුවේ නැත්නම් පාර්ලිමේන්තුවට තියා ප්‍රාදේශීය සභාවකටවත් යන්න බෑ. ඔවුන් උතුරේ සංවර්ධනය බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මම මේ ගැන පාර්ලිමේන්තුවේදි කතා කළා. උතුර සංවර්ධනයට දීපු සල්ලි උතුරු පළාත් සභාව සතයක්වත් වියදම් කරලා තිබුණේ නෑ. ඒකට මොකක්ද කියන්නේ.


ප්‍රශ්නය:- ඔබ රණවිරුවා ගැන කතා කළා. ඒ කාලේ බොහෝ අනීතික ක්‍රියා කළ බවට සැක කරන හමුදා නිලධාරින් සෙබළුන් අත්අඩංගුවට ගැනෙනවා. එවැන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැරදියි කියලද ඔබ කියන්නේ?
පිළිතුර:- නෑ. නීතිය රටක ක්‍රියාත්මක කිරීම අපට ප්‍රතික්ෂේප කරන්න බෑ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනැනේ. නීතියක් නැත්නම් ඒක රටක් නොවෙයිනේ. හැබැයි නීතිය ක්‍රියාත්මක කරද්දී එය විනිවිදභාවයෙන් මෙන්ම අපක්ෂපාතීව විය යුතුයි. මොකද රණවිරුවන් සම්බන්ධ ප්‍රශ්නය තීරණාත්මක වෙන්නේ ත්‍රස්තවාදය පරාජය කරපු රටක්. සාමය ගොඩ නගපු රටක්. ඒ සාමය ගොඩ නගපු රට ඇතුළේ විශාල  කැප කිරීමක් කළේ රණවිරුවෝ. එතකොට රණවිරුවා කියන්නේ බලවේගයක් මේ රටේ. රණවිරුවා කියන්නේ නිකම් හුදකලා මිනිසෙක් නොවෙයි. ඔවුන් බලවේගයක්. රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් විරුවන්. එතකොට ඔවුන් සම්බන්ධයෙන් කවුරු හරි පැමිණිල්ලක් කරනවා නම් එසැණින් රිමාන්ඞ් කරලා පරික්ෂණ පටන් ගන්න බෑ. නිවැරැදි විමර්ශනයක් කළ යුතුයි. ඊට පස්සේ එපැයි ඊළඟ පියවරට යන්න. නමුත් මෙතැන වෙන්නේ ඒ දෙය නොවෙයි කියලා ඉතාම පැහැදිලියි. දේශපාලන කෝණයකින් මේක සිද්ධ වෙන්නේ.


ප්‍රශ්නය:- ඔබ කොහොමද එහෙම කියන්නේ?
පිළිතුර:- මේ ආණ්ඩුව හදන්න එකතු වුණු බලවේග මොනවාද? දෙමළ ඩයස්පෝරාව, දෙමළ ජාතික සන්ධානය, එතකොට ආණ්ඩුවේ දැන් ඉන්න අනෙකුත් පාර්ශ්වයන්. ඒ පාර්ශවයන්ගේ මූලික ඉල්ලීම් මොනවාද? ඒ ඉල්ලීම්වලට අනුවනේ අද මේ ආණ්ඩුව හැසිරෙන්නේ. හමුදා කඳවුරු ඉවත් කළ යුතුයි. උතුරේ තිබුණු පරිපාලනමය තත්ත්වය වෙනස් කරන්න ඕනෑ. එහෙම ඉල්ලීම් කරන අයගේ ප්‍රධාන ඉල්ලීම වෙලා තිබුණෙ රණවිරුවා දඩයම් කිරීම. මේ සිද්ධ වෙන්නේ ඒක තමයි.


ප්‍රශ්නය:- අනීතික වැඩ කරපු සෙබළාට නීතිය ක්‍රියාත්මක කරන කොට ඒක රණවිරු දඩයම කියලා කියනවා. මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරපු දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනකොට ඒක දේශපාලන දඩයම කියලා කියනවා. මේක අවස්ථාවාදයෙන් වෙනස් වෙන්නේ කොහොමද?
පිළිතුර:- රණවිරුවාට එරෙහි දරුණු මෙහෙයුමක් තියෙනවා. රටක් විදියට මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුව තියෙනවා. මේ රණවිරු දඩයමෙන් සතුටු වෙන්නේ වෙන කවුරුවත් නොවෙයි දෙමළ ඩයස්පෝරාව, දෙමළ ජාතික සන්ධානය අපට රටට එරෙහි බලවේග, විදේශීය බලවේග, මෙය අප තේරුම් ගත යුතුයි.


ප්‍රශ්නය:- වැරදි කරපු දේශපාලනඥයන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කළ යුතු නෑ කියලා ඔබ කියනවද?
පිළිතුර:- නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑනේ. හැබැයි දේශපාලන උවමනාවක් වෙනුවෙන්. දැන් බලන්න අපේ පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා අත්අඩංගුවට අරගෙන තියෙනවා.


ප්‍රශ්නය:- ඔබ කියන්නේ ඒක දේශපාලන දඩයමක්?
පිළිතුර:- ඒක දේශපාලන දඩයමක් වෙන්නේ. ඔහුට තියෙන චෝදනාව මොකක්ද? උපදෙස් දීම හා අනුබල දීම. මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මම කෝප් කමිටුවේ ඉන්නකොට අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි දුන්නේ “මට මේකට උපදෙස් දුන්නේ අගමැතිතුමා” කියලා. එතකොට මහ බැංකු බැඳුමකරය වංචාවක් නම් ඒකට උපදෙස් දුන්න අගමැති එළියෙ ඉන්නේ කොහොමද? දැන් අර්ජුන් මහේන්ද්‍රන් එළියෙ. රටක් සංවර්ධනය කරනකොට, අමාත්‍යාංශයක වැඩ කරනකොට ඇමැතිවරයකුට උපදෙස් දෙන්නත් බැරිනම් අනුබල දෙන්නත් බැරිනම්, ඒ සඳහා මැදිහත් වෙන්නත් බැරිනම් එහෙම නම් ඇමැති කෙනෙක් මොනවද කරන්නේ කියලා කියන්න. ඇමැතිට මොනවද කරන්න තියෙන්නේ? එහෙම නම් දැන් කැබිනට් එක ඉල්ලා අස්වෙන්න ඕනෑ. ඇයි හිටියට වැඩක් නෑනේ. පහුගිය ආණ්ඩුව වැඩ කළේත් මේ ආණ්ඩුව වැඩ කරන්නෙත් ඒ ඒ අමාත්‍යාංශවල ඇමැතිවරුන්ගේ අනුමැතියෙන් තමයි. ඇමැතිවරයාට ඒ බලය පවරලා තියෙන්නේ පනතෙන්. එහෙම තිබියදී කොහොමද මෙවැනි චෝදනා කරන්නේ. මේ චෝදනා තමන්ට අවශ්‍ය පරිදි හදපුවා. මේක දේශපාලන දඩයමක් කියලා කියන්නේ ඒකයි.


ප්‍රශ්නය:- නමුත් මෙතැන නීතිය?
පිළිතුර:- පොඞ්ඩක් ඉන්න. අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නේ පොලිසිය. පොලිසිය හසුරුවන්නේ ආණ්ඩුව. නීතිය නමනවා කියලා පොලිස්පතිතුමාම කියනවා. මේ ඒක තමයි කරළියට ඇවිත් තියෙන්නේ. මෙතැන නීතියක් නෑ. යහපාලනයක් නෑ.


ප්‍රශ්නය:- 2017 දී ආණ්ඩුව පෙරළනවා කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වා. දැන් මාස දෙකක් ගෙවිලා.
පිළිතුර:- තව මාස 10 ක් තියෙනවනේ. 2017 පටන් ගත්තා විතරයිනේ. දෙසැම්බර් වෙනකම් කල් තියෙනවනේ.


ප්‍රශ්නය:- එහෙම වැඩපිළිවෙළකුත් නෑ. හැකියාවකුත් නෑ. නමුත් තමන් සමග ඉන්න කණ්ඩායම තියාගන්න කියන කතාවක් කියලා ආණ්ඩුව කියනවා.
පිළිතුර:- එහෙම බෑනේ. එහෙම නම් එහෙම කියා ගැනීමේ හැකියාව මේ අවුරුද්දෙන් ඉවර වෙනවනේ. වැඩපිළිවෙළවල් ක්‍රියාමාර්ග කියන ඒවා එකවර එළියට දාන්නේ නෑනේ. එහෙම කරන්නත් බෑනේ. මතුවන දේශපාලන තත්ත්වයන් විසින් සියල්ල වේගවත් කරාවි. විශේෂයෙන්ම කිවයුතුව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යමක් ආවට ගියාට කියන්නේ නෑ කියලයි.

 



අදහස් (0)

ජාතික සමඟිය වෙනුවෙන් කතා කරන අපට ජාතිවාදී ලේබලය අලවනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 939 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1189 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7411 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 888 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2054 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3761 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 328 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 85 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1111 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site