
ජාතික ජන බලවේගයේ තුන්වැනි අයවැය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කළ සාකච්ඡාවකි.
ප්රශ්නය:- කොහොම ද අයවැය?
පිළිතුර:- අයවැයක් ඉදිරිපත් වෙන්නේ දත්ත කරුණු මතනේ. නමුත් ඇත්ත කතාව මේ අයවැයෙහි නෑ වැදගත් අංශ දෙකක්. එකක් තමයි අපි ණය ආපසු ගෙවනවා. ගෙවන ණයෙහි පොලිය තියෙනවා. හැබැයි ගෙවන මූලික පාර්ට් එක මේකට ඇතුළත් වෙලා නෑ. ඒක බිලියන දෙදාස් දෙසීය ගාණක් වෙනවා. ඊට අමතරව තියෙනවා භාණ්ඩාගාරික බිල්පත්. ඒක වසර ඇතුළේ තමයි කැරකෙන්නේ. ඒ නිසා ඒක මේක ඇතුලේ සටහන් වෙන්නෙත් නෑ. උදාහරණයක් හැටියට ඒක ණයක් ඒක ගෙවලා අපි ඉදිරියට යනවා. ඒක බිලියන 3300ක් ඒ නිසා මේ අයවැයේ රුපියල් 10ක වියදමක් තියෙනවා. රුපියල් 6ක ආදායමක් තියෙනවා. ඊට අමතරව තව රුපියල් 3ක් අපට සිද්ධ වෙනවා අවුරුද්ද ඇතුළත “රෝල් ඕවර්” කරන්න ඕක තමයි මේ අයවැයේ සරල අර්ථයෙන් ගත්තම තියෙන චිත්‍රය.
ප්රශ්නය:- නමුත් ආණ්ඩුව කියන්නේ අපට ඕනෑ තරම් සල්ලි තියෙනවා. කියලයි?
පිළිතුර:- ඔව් ආණ්ඩුව එහෙම කියනවා. නමුත් සල්ලි එහෙම ඕනෑ තරම් තියෙන්න හේතුවක් නෑ. මොකද මේ අවුරුද්දෙත් ආණ්ඩුවට සිද්ධ වෙනවා බිලියන හාර දහසක ණය ගන්න. එහෙම ණය ගන්නේ කොච්චර පොලියකටද? ගිය අවුරුද්දේ ගත්තේ 10.5ක පොලියට. දැන් ගන්න වෙන්නේ සියයට 13ක පොලියට. හයිවේ හදන්න අපි ගත්තෙ දේශීය සල්ලිවලින් කියලා කිව්වට වියදම් කරන්නේ සියයට 13 පොලියට ගත්ත සල්ලි.
මහින්ද රාජපක්ෂ බංකොලොත් වුණේ සියයට හයේ පොලියට අරගෙන. ඒක නිසා මේක මේ පෙන්නන තරම් සුන්දර චිත්‍රයක් නොවෙයි. ඊළඟට මේ අයවැයේ පෙන්නන ඉලක්කම් විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් ආණ්ඩුවට වියදම් කරන්න බෑ. ගිය අවුරුද්දෙ පළමුවැනි මාස හයේ ආණ්ඩුවේ නිල කාරණා අනුව බිලියන 1450ක් යෝජනා කරලා තියෙනවා. නමුත් වියදම් කරලා තියෙන්නේ සියයට 18.9යි. නිල නොවන ආරංචි අනුව මුළු අවුරුද්දටම වියදම් කරන්න වෙන්නේ සියයට 50ට අඩුවෙන්. එතකොට ඔව්! ඒ සල්ලි ඉතුරුයි.
නමුත් ඒ සල්ලි ගත්තේ සියයට 10.5 පොලියට. කවුද මේ පොලී ගෙවන්නේ දැන් මුදල් අමාත්‍යාංශයම කියනවා මේ ගත්ත ණය ටික නඩත්තු කරන්න වාර්ෂිකව බිලියන 25ක් යනවා කියලා. ඒ අනුව පේනවා මේ ආණ්ඩුවට කිසිම මූල්‍ය කළමනාකරණයක් නෑ කියලා. එච්චරයි කියන්න තියෙන්නේ.
ප්රශ්නය:- ජනාධිපති අනුර කිව්වා කිසිම බද්දක් පැනෙව්වේ නෑ කියලා. ඒ වගේම මේ අයවැයෙන් බදු කිහිපයක් ඉවත් කළා.
පිළිතුර:- මේ ආණ්ඩුව බදු පිට බදු ගැහුවා. ගෝඨාභය රාජපක්ෂට තමයි රටේ අඩුම බදු ආදායම තිබුණේ. බිලියන 1750ක් තමයි එසේ තිබුණේ සාමාන්‍යයෙන් පවුලක එක් කෙනෙකුට අවුරුද්දකට රුපියල් අසු පන්දාහක් විතර ගැහුවා. හතර දෙනෙක් ඉන්න පවුලකට අසූපන්දාහේ ඒවා හතරයි. දැන් අපි එක් කෙනෙක් ලක්ෂ තුනක් ගෙවනවා. එතකොට හතර දෙනෙක් ඉන්න පවුලක් ලක්ෂ 12ක් බදු වශයෙන් අවුරුද්දට ගෙවනවා. ඒ නිසයි ඔය උඩ පනින්නේ.‘‘මේවා එදා රනිල් වික්‍රමසිංහ ගහපු සහගහන බදුයි. පැට්රල් බදු, ඩීසල් බදු, විදුලි බදු, ආහාර බත බදු, සේවා මත බදු’’ කිය කියානේ දැම්මේ. මේ අවුරුද්ද ආවට පස්සේ අලුතෙන් බදු වර්ග 10ක් හඳුන්වලා තියෙනවා. ඩිජිටල් සේවා බදු ආදි වශයෙන් බදු පිට පදු ගහලා තියෙන නිසා තමයි හැම මිනිහෙකුටම අවුරුද්දට ලක්ෂ 3ක් ගෙවන්න වෙලා තියෙන්නෙ.
2028 ඉඳන් ණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් සියයට 7ක පමණ වර්ධනයක් තියෙන ආර්ථිකයක් ගොඩනගන කතාවක් නෑ. 2025දී කිව්වොත් සියයට 7ක වර්ධනයක් 2027දී කියන්නෙත් සියයට 7ක වර්ධනයක් හැබැයි වර්ධනය සියයට 4යි. ඒක ආණ්ඩුවට තිබුණත් එකයි නැතත් එකයි.
ප්රශ්නය:- රාජ්‍ය අංශය කෙරෙහි මේ අයවැයෙන් විශාල අවදානයක් යොමු කරලා තියෙනවා.
පිළිතුර:- ඔව්! රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවෙන්න ඕනෑ. මොකද රාජය අංශයට වෙනත් ක්‍රමයක් නෑ. ආණ්ඩුව වැටුප් වැඩි කළේ නැත්නම් හැබැයි මේ වැඩි කිරීම සිද්ධවෙලා. තියෙන්නේ බදු සහන සපයලා තියෙන්නෙත් උද්ධමනයට ආනුපාතිකව ද? උද්ධමනය සියයට 8.5 හරිනම් මහ බැංකු අධිපති දැන් ඉන්න ඕනෑ හිරේ. මොකද ආර්ථික පරිවර්තන පනත සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා තියෙන්නේ මහ බැංකුවයි. උද්ධමනය වැඩියෙන්ම යන්න පුළුවන් සියයට 7යි. මහජනයා දන්නවා තමන්ට අද සහල් කිලෝව, මාළු කිලෝව, කිරිපිටි මිල කීය ද? බස් ටිකට් එක කියද? කෝච්චි ටිකට් එක කීයද කියලා ඒ නිසා ඔය වැටුප් වැඩි කිරීම මිනිසුන්ට ඵලක් නෑ. අර රුපියල් එක් ලක්ෂ හැට දෙදාහ වැඩි අයට බදු සහනයක් දුන්නා. ඕකෙන් ලැබෙන්නේ 750යි. මාසෙකට. 750ක් කියන්නේ බත් පැකට් එකක මිල. ඒ නිසා ඒකෙනුත් මුකුත් ප්‍රයෝජනයක් වෙලා නෑ. දැන් අද මොකක්ද තත්ත්වය? පැට්‍රෝල් ලීටරයක් සිංගප්පුරුවෙන් නැවට දාන්නේ රුපියල් 99ට. විකුණන්නේ 424ට.
ප්රශ්නය:- ඇමති සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තුවේ දී කිව්වා දියුණු රටවල් එක්ක බලනකොට අඩුම තෙල් මිල තියෙන්නේ අපේ රටේ කියලා.
පිළිතුර:- එයා කියන්නැති කතාව මොකක්ද? එයා දියුණු රටවල මිනිසුන්ගේ ආදායම කියන්නේ නෑනේ. ඒක පුද්ගල ආදායම කියන්නේ නෑනේ. ඒ ආදායමෙන් තෙල් ලීටර් කීයක් ගන්න පුළුවන්ද කියලා එයා කියන්නේ නෑනේ. ඒ රටවල්වල පාන් ගෙඩියක මිල කීයද කියලා එයා කියන්නේ නෑනේ. ඒ රටවල කෝපි එකක මිල කීයද කියලා එයා කියන්නේ නැහැනේ.
රටවල් තම තමන්ගේ ආර්ථික මට්ටමේ මත තීන්දු ගන්නවා. අපේ රටේ තෙල් මිල තීරණ කරද්දී ජාත්‍යන්තර මිලට අමතරව රටේ තත්ත්වය ගැන සලකා බලනවා. අපි දෙන්නා මේ කතා කරන වෙලාවෙත් පැට්‍රෝල් ලීටයක මිල රුපියල් 199යි. ඩීසල් 265යි. බොර තෙල් රුපියල් 180යි. ඒවා ගෙනල්ලා තමයි මේ හෙණ ගහන ලාභ උපයන්නේ. මේ ගහන බදු පෞද්ගලික අංශයට ගෙවන්න බැරි හින්ද තමයි ඒගොල්ලො විකුණන්නේ. හැබැයි සිපෙට්කෝ එකට බදු ගහන්නේ නෑ. පිරිපහදුවට බදු ගහන්නේ නෑ. ඒ නිසා ලාභයි. කියනවා. මහා ලොකු හපන්කමක් වගේ කියනවා බදු ගෙවන්නෙත් නැතිව. ඒ වගේම ආණ්ඩුවේ ඩීසල් වංචාව ගැන අපි පැමිණිල්ලක් කරලා තියෙනවා. තෙල් සංස්ථාවේ සභාපතිට හා අනුර ජයකොඩිට විරුද්ධව අද වෙනකම් පරීක්ෂණයක් නෑ.
ප්රශ්නය:- ගල්අඟුරු වංචාව ගැන හොයන්න පත් කළ කොමිසමෙන් ඔබට කැඳවීමක් ලැබුණා.
පිළිතුර:- මොන පිස්සුද? මොනෙ බොරුද? මමනේ ගියේ. මමයි ගියේ පැමිණිල්ලක් දාලා මම පැමිණිලි දෙකක් දැම්මා. ගල් අඟුරු නැව් 30ක් වංචා කළ එකටයි ටිල්වින් සිල්වා මහත්තයාගේ ප්රකාශනයටයි.
ප්රශ්නය:- ප්‍රකාශයක් ගන්න එන්න කියලා ඔබට කැඳවීමක් තිබුණා.
පිළිතුර:- නෑ මමයි ගියේ. මම දෙපාරක් ගියා. ඔබ ඔය කියන්නේ මාධ්‍යවල ගිය කතාවක්නේ. කොමිසමේ සභාපති අන්තිමට මොකක්ද කිව්වේ‘‘ ඔබ වැනි දක්ෂ පුද්ගලයෙක් මේක අරගෙන කරන්න’’ කිව්වා.
ප්රශ්නය:- ඔය ගල් අඟුරු කොමිසමෙන් රටට වැඩක් වෙයි ද?
පිළිතුර:-ඒක අපි දන්නේ නෑ. ඒක කොමිසමේ වැඩක්නේ. ගල්අඟුරු වංචාව ගැන අනුර කුමාර දිසානායකගේ කුමාර ජයකොඩිගේ හා උදයංග හේමපාලගේ ගල්අඟුරු වංචාව ගැන අවශ්‍ය සියලුම දත්ත අන්තර් ජාලයට දාලා තියෙනවා. කැමති කෙනෙකුට බලන්න පුළුවන්. ඒ කරුණු පුළුවන්නම් අභියෝගයට ලක් කරන්න කියලා මම කියනවා.
ප්රශ්නය:- කොහොම වුණත් කුමාර ජයකොඩි ඇමති ධුරයෙන් ඉවත් කරන්න අනුර කුමාර කටයුතු කළා.
පිළිතුර:- ඇමැතිකමෙන් අයින් කළාම අනුර කුමාර දිසානායකත් එක්ක ගිහිල්ලා බලාගාරයක්ද මොකක්ද එකක් විවෘත කළේ. ඒකෙන් එයා පෙන්නුවේ මොකක්ද? ජනාධිපතිවරයා ඉන්නෙ මාත් එකක් කියලා තමයි පෙන්නුවේ.
ප්රශ්නය:-ජවිපෙ කැබ් නඩත්තු කරන්න පරිපාලන නිලධාරීන්ට අයවැයෙන් වරප්‍රසාද දීලා’’ කියලා ඔබ කිව්වා?
පිළිතුර:- මෙහෙමනේ මේගොල්ලෝ මොකක්ද කළේ ආපු හැටියේ තිබිච්ච වාහන ගෝල්ෆේස් එකට ගෙනල්ලා විකුණුවා. ඒ විකුණද්දිත් මහා වංචාවන් වුණා. කවදාහරි දවසක ඒ ගැනත් පරීක්ෂණයක් කරන්න ඕනෑ. උදාහරණයක් හැටියට මම පාවිච්චි කරපු වාහනය මට හබ්බ වුණා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනක කාර් සේල් එකක දාලා තියෙද්දී. එකේ ගැන ඇහුවම ගත්ත ගාන වගේ දෙගුණයකටත් වැඩියි. ඒ විකුණපු වාහන ගාන අනාගතයේ දී අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළ යුතුයි. ඒ වාහන ටික විකුණලා මොකක්ද කළේ. අලුත්ම අලුත් වාහන 1750ක් ගත්තා. ඒවායින් සුළු ප්‍රමාණයක් ඔය පරිපාලන නිලධාරීන්ට දීලා ඉතිරි ටික පක්ෂ කාඩරයට දුන්නා.
මේකනේ ඔය පරිපාලන සේවාවේ අය නොයෙක් දේවල්වලට විරෝධය පළ කළාට ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පවා කියනවා. ‘‘අපි රාජ්‍යය අල්ලනවා’’ කියලා. රාජ්‍යය අපි අල්ලනවා කියලා කියන්නේ රටේ පරිපාලනය අල්ලනවා කියන එකයි. නමුත් ඔය නිලධාරීන් ඒකට විරුද්ධව වචනයක් වත් කිව්වේ නෑනේ. ඒ වගේම පරිපාලන සේවයේ නිලධාරීන් කී දෙනෙකු ඉතාම අයුක්ති සහගත විදියට අත්අඩංගුවට ගැනීම් කරලා තියෙනවද? අද පඩි වැඩි කළාට රාජ්‍ය අංශය වැඩ කරනවා ද?
මේ කොළඹ යට වුණේ ඇයි? කොළඹ කානු ටික මේ අවුරුදු දෙක පුරා නඩත්තු කරල තියෙනවද ? මේ කානු ටික ශුද්ධ කර ගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටේ ආර්ථිකය සියයට 7කට පමණ අරගෙන යන්නේ?
ප්රශ්නය:- රටේ කොච්චර ප්‍රශ්න තිබුණත් ‘‘විපක්ෂය පණ මදි’’ කියලා පේනවා.
පිළිතුර:- විපක්ෂයේ සමහරු ආණ්ඩුවත් එක්ක ඩීල් එකක ඉන්නවා තමන්ට හිරේ යන්න වෙයි කියලා බයේ ඩීල්වල ඉන්නවා. ඒ වගේම සිංහයෝ වගේ කතා කරන විපක්ෂයේ සමහරු අයත් යටින් ආණ්ඩුවට තොරතුරු දෙමින් ඉන්නේ. අවංකවම සටන් කරන පිරිසකුත් ඉන්නවා. එහෙම අයට මේගොලේලෝ ‘‘හිරේ විලංගුවේ දානවා. නඩු දානවා’’ කියනවා. මේ ආණ්ඩුවේ දෙකක් හඳුනාගන්න පුළුවන්. එකක් මේ ආණ්ඩුවට මොකක් හරි චෝදනාවක්... ගල් අඟුරු හෝ කන්ටේනර් පන්නපු එක ගැන හෝ චෝදනාවක් ආවම ඒ ගැන පරීක්ෂණයක් නොකර ඉන්නවා. නේද? ඒ කියන්නේ ආණ්ඩුව පිළිගන්නවා තමන් වැරැදියි කියන එක. දෙවැනි එක තමයි සමහරුන් චෝදනා පිට චෝදනා දාලා අත්අඩංගුවට අරගෙන ඉන්නවා නේද? ඒකෙන් කියැවෙන්නේ ආණ්ඩුව ඒගොල්ලන්ට බයයි කියන එක.
ප්රශ්නය:- උතුරු, නැගෙනහිර මධ්‍යම හා සබරගමුව පළාත් සභා මැතිවරණය පත්වන්න සුදානමක් තියෙනවා කියලා ආණ්ඩුව පැත්තෙන් ආරංචි එනවා.
පිළිතුර:- පළාත් තෝර ගන්න දෙයක් නෑනේ. ඉස්සර ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබ්බ නිසා තමයි කොටස් වශයෙන් කළේ. දැන් එහෙම ප්‍රශ්නයක් නෑනේ. ඒ නිසා දැන් අනිවාර්යෙන්ම පළාත් සභා ඡන්දය රටේම පවත්වන්න ඕනෑ. එහෙම නොකරන්නේ බස්නාහිර හා දකුණ ඡන්ද තියන්න ආණ්ඩුව බය නිසයි.
ප්රශ්නය:- රටේ අනාගතය ගැන ඔබේ විග්රහයට?
පිළිතුර:- අනාගතයේ මේ රටේ නව දේශපාලනයක් එනවා. මේ තියෙන දේශපාලන පක්ෂවලට පිටතින් නව දේශපාලනයක් එනවා. ඒක ලෝකයේම තියෙන අත්දැකීමක්. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාත් විපක්ෂයක් නෑ කිය කියා හිටියා. නමුත් තරුණ දේශපාලනයක් මතු වුණා. බංග්ලාදේශයේ තරුණ දේශපාලනයක් මතුවුණා. නේපාලනය තරුණ දේශපාලනයක් මතුවෙලා බලයට ආවා. සර්බියවේ තරුණ දේශපාලනයක් මතුවෙලා. බලයට ආවා. මේක ලංකාවෙත් වෙනවා.
මේක ප්රජාතන්ත්රවාදී රටක්. තනි පක්ෂ ක්‍රමයක් සහිත පාලනයකට මේ රටේ ඉඩක් නෑ. ඒ නිසා අනාගතයේ දී නව පරපුරක් විසින් නව බලයක් ගොඩනගනවා. අන්න ඒකට අවශ්‍ය වේදිකාව හදන්න ඒකට නායකත්වය දෙන්න අපි ලෑස්තියි.
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd