අධ්‍යාපන ඇමැති, පාර්ලිමේන්තුවේ සභානායක

සුසිල් ප්‍රේමජයන්ත 

අලුත් ජනාධිපතිවරයකු මෙන්ම අගමැතිවරයකුද කැබිනට් මණ්ඩලයක්ද රටට axලැබී තිබේ. ඉදිරිය කුමක් වෙයිද? අධ්‍යාපන ඇමැති පාර්ලිමේන්තුවේ අලුත් සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග මේ සංවාදය ඒ සම්බන්ධයෙනි.   

?අද ඔබ අධ්‍යාපන ඇමැති වගේම පාර්ලිමේන්තුවේ සභානායක. ඔබට ඔබ ගැන මොකද හිතෙන්නේ. 

 
වගකීම් ගොඩක්. අධ්‍යාපන අමාත්‍යංශය කිව්වම මෙවර උසස් අධ්‍යාපනයත් පාසල් අධ්‍යාපනයත් තාක්ෂණ හා වෘත්තීය අධ්‍යාපනයත් කියන කොටස් තුනම එක රේඛීය අමාත්‍යාංශයට තමයි ගොනු කරලා තියෙන්නේ. ඒ වගේම විද්‍යා හා පර්යේෂණ අංශයත් තියෙනවා. තර්කානුකූලව ඒ ක්‍රමය හොඳයි.   


?ඉදිරියේ එන ඇමැති මණ්ඩල සංශෝධනයේදී කෑලි ගැලවෙයි.   


ඔව්. සමහරවිට එහෙම වෙයි. රාජ්‍ය ඇමැතිවරු කීප දෙනෙක් නියෝජ්‍ය ඇමැතිවරු කීප දෙනෙක් පත් වෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් ඒකත් හොඳයි. මට සභානායක ධුරයත් ලැබුණනේ. සභානායක ධුරයේ කටයුතු කරද්දි මූලික වශයෙන් සභාවේ සියලුම දෛනික කටයුතු මෙහෙයවීමේදී විශාල වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම අණපනත් සම්මත කිරීම. සංශෝධන ගෙන එන ඒවා ආදී වශයෙන්. මාසෙකට දින 8 ක් විතර මට පාර්ලිමේන්තුවේ සෑහෙන වෙලාවක් වැඩ කරන්න වෙනවා. ඒ නිසා මම හිතනවා ඉදිරි කාලයේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙන කොට මේ විෂයට නියෝජ්‍ය ඇමැතිවරු වගේ අය පත් කළොත් ඒක විශාල පහසුවක් වෙනවා.   


?රාජපක්ෂවරුන්ගේ උදහසට ලක්වීම නිසා රාජ්‍ය ඇමැතිධුරයෙන් ඔබ නෙරපා හැරියා. මේ සැලකිලි ඒ නිසාද?   


ඇත්ත වශයෙන්ම ආණ්ඩුවටත් හිටපු ජනාධිපති තුමාටත් මෙවැනි ඉරණමක් අත් වෙන්නේ නෑ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් පළපුරුද්දක් තියෙන අධ්‍යාපන සුදුසුකම් වෘත්තීය සුදුසුකම් තියෙන පිරිස් ගැන ඊට වඩා සැළකිල්ලකින් බැලුවා නම්. එතැන යම් යම් අඩුපාඩුකම් සිද්ධ වුණා. ඒකත් එක හේතුවක් වුණා තීන්දු ගැනීමේදී. රාජ්‍ය පාලනයේදී අත්දැකීම් තියෙන පිරිස් අවශ්‍යයි. අපේ ඇමැති මණ්ඩල ඉතිහාසය ගත්තොත් හොඳ උගත් දැනුමක් තියෙන වෘත්තිමය පරිණත භාවයක් තියෙන අයනේ හිටියේ. 


?මගේ ප්‍රශ්නය වුණේ ඔබ රාජපක්ෂවරුන්ගේ උදහසට ලක්වීම ගැනයි.   


උදහසට වඩා නොසැළකීමක් වුණේ. හැබැයි මම දන්නෑ කාටද සලකන්නේ කියලා. අවුරුදු 11ක් මම සන්ධානයේ මහලේකම් හැටියට මැතිවරණ 12ක නාම යෝජනා සකස් කරලා මම ඒ කටයුතු හොඳට කළා. ඒවා සැලකීමක් වුණේ නෑ.   


?ඒ ගැන ඔබට කලකිරීමක් ඇති වුණා. ඔබ ඒක ප්‍රකාශ කළා. ප්‍රතිඵලය වුණේ ඔබට රාජ්‍ය ඇමැති ධුරය අහිමිවීම.   


නෑ. කලකිරීමට වඩා... ඇත්තටම එහෙම එකකුත් තිබුණා. අනික් පැත්තෙන් අපේ දායකත්වයෙන් හදපු ආණ්ඩුවක්නේ. මේක නිවැරැදි දිශාවට යන්න එපැයි. ගත්තු ප්‍රතිපත්තිමය තීරණ රටට ගැළපුණේ නෑ. පරිණත පිරිසක් එතැන නොසිටීමේ ප්‍රතිඵලය තමයි ඒ. ඒක නිසා මොකද වුණේ? වෙච්ච දේ රටම දන්නවනේ. පාර්ලිමේන්තුවේදීත් මම කිව්වා සභාව මෙහෙම නෙවෙයි යන්න ඕනෑ කියලා. මේ පාර හදිසි නීති විවාදය ගන්න. අවුරුදු ගණනාවකට පස්සේ හදිසි නීති විවාදයක් තිබ්බේ ඊයෙ පෙරේදා. ඒ විවාදය ඉතාම විනයානුකූලව රූපවාහිනියෙන් බලන් ඉන්න කෙනෙකුට අවධානයෙන් අහගෙන ඉන්න පුළුවන් විදියට තිබුණා. ඊට කලින් මොකද වුණේ? ඊට කලින් තිබුණේ රණ්ඩුවක්. ඒක හරිම අශෝභනයි. පාර්ලිමේන්තුවේ 225ම එපා කියන සටන් පාඨයක් හැදුණේ ඒ නිසයි. ඔක්කොම ගැන තක්සේරු කළේ හැමදාම කිහිප දෙනෙක් දෙපැත්තට ගහ බැණ ගැනීමෙන්.    


?ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආව රනිල් වික්‍රමසිංහ අගමැතිවෙලා ජනාධිපතිවුණා. මේක විකෘතියක් කියලා ඔබ හිතනවද?   


ඕක ඔහොමම අනික් පැත්තට තර්ක කළොත් ජනාධිපතිවරණයට තරග කළානේ ඩලස් අලහප්පෙරුම මැතිතුමා. එතුමට තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ ජනවරම අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මුළු පක්ෂයටම රටින්ම ලැබුණේ ලක්ෂ තුනක් විතර ප්‍රමාණයක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පක්ෂයටත් මුළු රටෙන්ම ලැබුණේ ඡන්ද ලක්ෂ දෙක හමාරක විතර ප්‍රමාණයක්. ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ලැබුණේ එහෙමයි. එතකොට ඩලස් හෝ අනුර දෙන්නාගෙන් එක් කෙනෙකුට ජනාධිපති වුණත් ඔය තර්කයම මතු කරන්න පුළුවන්නේ. එහෙම අරගෙන බලනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා හය වතාවක් අගමැතිවෙලා ඉඳලා තියෙනවා. එතකොට එතුමාට අවුරුදු 45ක පාර්ලිමේන්තු අත්දැකීම් තියෙනවා. ඒ වගේම දැඩි ලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන විශ්වාසය තියෙන කෙනෙක්. දින 52 වෙලාවෙත් එතුමා නොසෙල්වී හිටියා. ඒ වගේම එතුමට වෙස්ට්මින්ස්ටර් ආකාරයෙ රාජ්‍ය පාලනය පිළිබඳ ඉතිහාසයෙ ඉඳලම අත්දැකීම් තියෙනවා. ජාත්‍යන්තර සබඳතා ඉහළයි. මෙවැනි අවස්ථාවක වරද කාගෙ වුණත් රට තුළ ආර්ථික අර්බුදයක් තියෙනවා. සමාජයෙ ප්‍රශ්න මතුවෙලා. ඒක නිසාම දේශපාලන අර්බුදයක් ඇවිල්ලා. මෙහෙම වෙලාවක මේ තත්ත්වයන් කළමනාකරණය කරලා. රට යථා තත්ත්වයට පත් කරලා. මැතිවරණයකට යාමනේ මෙතැන අරමුණ. 


?ඩලස් පොහොට්ටුවේ ඉන්නේ. නමුත් ඔබලා ඡන්දය දුන්නේ රනිල්ට. ඒක විකෘතියක් නොවෙයිද?   


නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ඩලස් අලහප්පෙරුම මැතිතුමා 2001 දිද කොහෙද රටින් බැහැර වුණා. ඊට පස්සේ එතුමා ලංකාවට ආවේ 2005 ජනාධිපතිවරණයේදි. මම 2004 ඉඳන් සන්ධානයේ ලේකම්. ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා ඝාතනය වුණාට පස්සේ ඒ පුරප්පාඩුවට තමයි මම එතුමව පත් කළේ. එතුමගේ නම ලැයිස්තුවේ තිබුණෙත් නෑ. එතුමා ඡන්දය දුන්නෙත් නෑ. මැතිවරණ ව්‍යාපාරයේ හිටියෙත් නෑ 2004 දි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගේම තමයි එතුමත් විදේශගත වෙලා හිටියේ. හැබැයි ඊට පස්සෙ එතුමා අපිවත් අභිබවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට සමීප වෙලා ඒ දේශපාලන කටයුතු කළා. මේ ඉතිහාසය කවුරුත් වැඩිය දන්නේ නෑ. අපි එහෙම කඩාගෙන ගියේ නෑ. 


?සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා වෙනවා. ආණ්ඩුවෙන් ස්වාධීන වෙච්ච පක්ෂ සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැද්ද?   


හදිසි නීති විවාදයෙන් පස්සේ පැවැති ඡන්ද විමසීමෙන් පස්සෙ තත්ත්වය වෙනස් වුණා. මන්ත්‍රීවරුන් 16ක් ඉන්නවා. විමල් වීරවංශ මැතිතුමාගේ පක්ෂයත් එක්ක. ඒ පිරිසත් ඒ ඡන්දෙදි වෙනසකට භාජනය වුණානේ. ඔවුන් පක්ෂව ඡන්දය දුන්නනේ. ඩලස් අලහප්පෙරුම මහත්තය ගාව හිටපු අයගෙනුත් අකිල සාලිය එල්ලාවල වගේ අය මේ පැත්තට ඡන්දය දුන්නා. හය දෙනයි විරුද්ධව ඡන්දය දුන්නේ. අනිත් අය ආවේ නෑ.

පාර්ලිමේන්තුවේදි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයෙදි තිබුණ තත්ත්වය වෙනස් වෙලා.

ජනාධිපතිතුමාගේ ඊළඟ පියවර තමයි රාජාසන කතාවෙදි වැඩ පිළිවෙළක් රටට ඉදිරිපත් කිරීම. අගෝස්තු මාසය අවසන්වීමට පෙර අතුරු අය වැයක් ඉදිරිපත් කිරීම. ඒ හරහා ආර්ථික පීඩනයෙන් ඉන්න ජනයාට සහන දෙන්න. ඊළඟට අපට ලබන අවුරුද්දෙ අයවැය ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වැඩ පිළිවෙළත් සමග තමයි සර්ව පාක්ෂික ආණ්ඩුවකට අවධානය යොමු කරලා තියෙන්නේ.   


?නමුත් ජාතික ආණ්ඩුවකට සජබෙ එන්නේ නෑ කියනවා.   


මාධ්‍ය හමුවලදී ඔවුන් විවිධ මත ප්‍රකාශ කරනවා. ඒකෙ ඉන්න කෙනෙක් ආරාධනා කරනවා ලබන 9 වැනිදට අවසන් සටනට එන්න කියලා. නමුත් දැන් අවසන් සටන ඉවරයි. ඕක ආරම්භ කරපු අය ඒක ආරම්භ කළේ ‘ගෝඨා ගෝ හෝම්’ කියලයි.   


?අරගලකරුවන් කියනවා ‘රනිල්ටත් ගෙදර යන්න’ කියලා.   


එතකොට තව කෙනෙක් ආවොත් එයාවත් ගෙදර යන්න කියයි. විමල් වීරවංශ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවෙදි කිව්වා ‘අපට කියන්න කාවද පත් කරන්න ඕනැ. අපි එයාව පත් කරන්නම්’ කියලා. එන එන මිනිහා එළවලා මෙහෙම රටක් හදන්න බෑනේ. දැන් අයි එම් එෆ් එකේ සාකච්ඡා ආපහු ආරම්භ කරලා තියෙනවා. අයි එම් එෆ් සහන එපාද? එපානම් අපි කොහොමද ණය කළමනාකරණය කරන්නේ. එබඳු විසඳුමකින් විදේශ විනිමය හොයාගෙන රට ගොඩගන්නවා මිස වෙනත් විකල්පයක් නෑ. ඔය අරගල කරන කිසිම කෙනෙක් විසඳුමක් කියන්නේ නෑනේ. මේ අර්බුදය මතු වුණේ මේ මාස දෙකේදී නොවෙයිනේ. එතුමා රට භාරගන්නකොටත් අර්බුදය තිබුණා. තෙල් තිබුණෙ නෑ. ගෑස් තිබුණෙ නෑ. 


?නමුත් තෙල් ප්‍රශ්නය උග්‍රයි. මිනිස්සු පෝලිම්වල නිරා දුක් විඳිනවා.   


ඔව්! තෙල් බිංදුවක්වත් ගබඩාවල නැතිව සති තුනක් තිබුණා. ගෝඨාභය මහත්තය යන දවස් වෙනකොට ඒ ත්තත්වය තමයි තිබුණේ. දැන් මේ වෙනකොට ඩීසල් ටොන් 65,000 ක් තියෙනවා. පැට්‍රෝල් ටොන් අඩුම ගානේ 60,000ක් තියෙනවා. දවසකට සාමාන්‍යයෙන් පැට්‍රෝල් යනවා ටොන් 4,000ක්. ඩීසල් යනවා 4,500ක්. අපි ඔය ගාන ගත්තත් අඩුම ගානේ සති තුනකින් එහාට තෙල් සංචිත තියෙනවා.   


?නමුත් මහ බැංකු අධිපතිම කියනවා තෙල් ගෙන්වන්න ඩොලර් නෑ කියලා.   


එහෙමනම් විකල්පයකට යා යුතුයි. රුපියල්වලින් හරි තෙල් ගේන්න ඕනෑ. තියෙන තෙල් ටික කළමනාකරණය කරගන්න ඕනෑ නිසා තමයි දවසකට නිකුත් කරන තෙල් ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ. ඒ නිසයි ඔය පෝලිම් තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය තමයි ඕනෑම භාණ්ඩයක් හිඟ වෙනකොට ඊළඟට වෙන්නේ ඒවා හංගනවා. පාරේ හයර් දුවන්න ඕනෑ වාහන තියෙන්නේ තෙල් පෝලිම්වල. ඒක සමහරු ව්‍යාපාරයක් කරගෙන. මේක ප්‍රසිද්ධියෙ තියෙන දෙයක්. මේ විදියට මුළු මැද පෙරදිග තියෙන ඔක්කොම තෙල් ගෙනාවත් මදි වෙනවා.


?දැන් ආණ්ඩුව මර්දනය පටන් අරගෙන. තොග ගණනින් අත්අඩංගුවට ගනිමින් යනවා.   


මේක මර්දනය නොවෙයි. මේ රට පවතින්න ඕනැනේ. මම අහන සරලම ප්‍රශ්නය තමයි අරගල භූමිය හෝ දේශපාලන පක්ෂ විදේශ විනිමය හොයන්න ඉදිරිපත් කරන සැලැස්ම මොකද්ද?   


?ආණ්ඩුවටත් නෑනේ?   


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ඉලක්කය තමයි අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡා කරලා අගෝස්තු අවසන් වෙන්න පෙර එකඟතාවකට එන්න පුළුවන් නම් අපට ලෝක බැංකුවෙන් මුදල් ටිකක් ගන්න පුළුවන්. එතකොට විශ්වාසය ගොඩ නැගෙනවා. ඒ ඔස්සේ රට යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. මෙහෙම වෙනකොට විදෙස් ප්‍රේශන වැඩි වෙනවා. එතකොට උද්ධමනය පහළ යනවා. භාණ්ඩ මිල පහත බහිනවා.   


?පොහොට්ටුවේම මන්ත්‍රීවරු කියනවා ජනාධිපති ගෝඨාභය ගිය එක වැරැදියි. ඒකට මුහුණ දෙන්න තිබුණ කියලා.   


මීට කලින් ජනාධිපති අගමැති වුණේ දේශපාලනයේ නියැළුණ අයයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහෙම ක්‍රියාකාරීව දේශපාලනයෙ යෙදුණ කෙනෙක් නොවෙයි. ඒ නිසා මතක තබාගත යුතුයි රටක් පාලනය කිරීමේදී හරියට දේශපාලනය කරපු කෙනෙකුට තමයි ඒක හරියටම කරන්න පුළුවන් කියලා. මේක මේ අත්හදා බැලීම් කරන්න පුළුවන් අවස්ථාවක් නොවෙයි.   


?ඔබ හිතනවද රාජපක්ෂවරුන්ගේ දේශපාලනය අවසන් කියලා?   


ඒක අනාගතයෙදි තමයි තීන්දු කරන්න වෙන්නේ. අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කළාට පස්සෙ හිතුවා රාජපක්ෂ දේශපාලනය එතැනින් ඉවරයි කියලා. නමුත් මහින්ද සුළඟ ආවා. හැබැයි ඒ තත්ත්වය අද වෙනස්. පිලිපීනයේ මාකෝස්ගේ පුතා ආපහු බලයට ආවා අවුරුදු 20 කට පස්සේ. ඒක නිසා ඔබ අහපු දේ රටටයි අනාගතයටයි බාර කරන්න ඕනෑ.   


?ජනාධිපති ධුරයට මෙන්ම අගමැති ධුරයට පොහොට්ටුවේ නොවන දෙන්නෙක් පත් කළේ පොහොට්ටුව තුළ නාමල් රාජපක්ෂට වැඩෙන්න ඉඩ හදලා දෙන්න කියලත් කියනවා.   


නෑ. ඉතින් ඇත්ත වශයෙන්ම අපේ රටේ පළපුරුදු දේශපාලනඥයෙක් වෙන්න අවුරුදු 55ක් 60ක් වත් වෙන්න ඕනැ. සමහරු නායකයො වෙන්න හිතාගෙන කරන ප්‍රකාශ ගත්තාම කොච්චර බොළඳද කියලා හිතෙනවා. ප්‍රශ්නයෙ ගැඹුර හරියට තක්සේරු කර ගන්නේ නැතිව කතා කරන පිරිස් කොච්චර ඉන්නවද? අද මම මෙතැනට එනකොට මගේ ක්‍රියාකාරි දේශපාලනයට අවුරුදු කීයක්ද? 1981 දි තමයි මම කෝට්ටේ නගර සභාවට ආවේ. පළාත් සභාවේ මහ ඇමැති වෙලා අවුරුදු පහක් හිටියා. පාර්ලිමේන්තුවට ආවේ 2000 දි. අවුරුදු 22ක් මම පාර්ලිමේන්තුවේ. පියවරෙන් පියවර තමයි අපි ඇවිත් ඉන්නේ. මේ රටේ ඉතිහාසයම අරගෙන බලන්න. සාර්ථක වෙච්ච බොහෝ දේශපාලනඥයෝ යම් ආකාරයක අත්දැකීම් ලබමින් පියවරෙන් පියවර ඉදිරියට ආපු අය.   


?
මගේ ප්‍රශ්නයට ඔබේ පිළිතුර ඒක.   

 

ඔව්.

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්