IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අපේ බලාපොරොත්තුව ඉවත්වෙලා ගිය අය එකතු කර ගැනීමයි

මොළ හතානෝ කී බැසිල් රාජපක්ෂ කතා කරයි 

 

  • අපේ රටේ ජනතාව ඉවසලා අපට සහයෝගය දුන්නා නම් මේකෙන් ගොඩඑන්න තිබුණා

 

ඉතා කෙටි කාලයක් තුළ මැතිවරණ පොරපිටියේ හාස්කම් පාමින් පෙරට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මහෝඝයක් සේ රළ ගැසු රාජපක්ෂ විරෝධය හමුවේ සීසීකඩ කඩා ඉහිරුණේය. ඒ සමගම රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ද බරපතළ අභියෝගයට ලක්වී තිබේ. සිදුවූයේ කුමක්ද? ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.   

?රාජපක්ෂ පවුලට මේ මොකද වුණේ කියන තැනින් මේ සාකච්ඡාව ආරම්භ කළොත්?   


රාජපක්ෂ පවුලට මොකද වුණේ කියන එකට වඩා මට ප්‍රශ්නයක් තියෙන්නේ මේ රටේ ජනතාවට මෙහෙම වීම ගැනයි. ඇත්තටම මම ඒ ගැන කනගාටු වෙනවා. රාජපක්ෂ පවුල නැති වුණාට හෝ රාජපක්ෂ පවුලට කරදර වුණාට මට ඒ ගැන දුකක් නෑ. හැබැයි මේ රටේ ජනතාවටත් රටටත් වෙච්ච දේ ගැන මට අවංකවම කනගාටුවක් තියෙනවා.   


?රටත් ජනතාවත් මේ විපතට ඇදලා දැම්මේ රාජපක්ෂ පවුලයි ?   


එහෙම තමයි චෝදනා කරන්නේ. හැබැයි මම කියන්නේ රාජපක්ෂ පවුල නොසිටින්න අද එක රටක් නෑ. ඒක නොපිළිගන්න කෙනෙක් අද මේ රටේ නෑ. අද තියෙන තත්ත්වයේ වගකීම රාජපක්ෂ පවුලට දෙනවා නම් එහෙම චෝදනා කිරීම ඉතාම අසාධාරණයි. මොකද ඔවුන් නිසා තමයි අද මෙහෙමවත් රටක් තියෙන්නේ.   


?තෙල් නැතිව ගෑස් නැතිව විදුලිය නැතිව රටේ ජනයාට පෝලිම්වල මැරෙන්න වුණේ මාන්නාධික රාජපක්ෂ පාලනයේ වරදින් ?   


ඒක ක්‍රමානුකූලව ඇතිවෙච්ච දෙයක්. ඔය ඔබ නඟන චෝදනාව ඔබ නගන්නේ දේශපාලන ඉතිහාසය නොදන්නා නිසාද කියලා මම දන්නේ නෑ. මම ජනතාවට දොස් කියන්නේ නෑ. මාධ්‍යයට වගකීමක් තියෙනවා මේක රටට පැහැදිළි කරන්න.   


?පැහැදිළි කරන්න තරම් දෙයක් ඉතිරිවෙලා තියෙනවද? 

 
මෙහෙමයි. ඔබ ඔබේ පවුලේ වියදම හරියට කළමනාකරණය නොකළොත් පළමු වැනි පාර ඒක දැනෙන්නේ නෑ. ක්‍රමයෙන් වර්ධනය වෙලා ඒක උච්ඡතම අවස්ථාවට පත්වුණා. කොවිඩ් මාරක වසංගතය ආවා. යුක්රේන් යුද්ධයේ බලපෑම ආවා. කොරේ පිටට මරේ කිව්වා වගේ. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ තත්ත්වයක් තමයි අපේ රටට ඇතිවුණේ. රටට ඉතාම නරකම කාලයක් උදාවුණේ. හැබැයි මම පැහැදිළිවම කියනවා. යුද්ධය කරද්දිත් මෙහෙමම තමයි අවුරුදු 30 ක් යුද්ධ කරලා රටේ භූමියෙන් තුනෙන් එකක්, වෙරළ තීරයෙන් තුනෙන් දෙකක්, ගුවන් හමුදාවක්, නාවික හමුදාවක් ඉහළම පාබල හමුදාවක්, මරාගෙන මැරෙන මිනිස් බෝම්බ තිබුණ හොඳටම දියුණු වෙච්ච ත්‍රස්තවාදයක් තමයි මහින්ද රාජපක්ෂට හම්බ වුණේ. මහින්ද රාජපක්ෂට හැකියාව ලැබුණා කොහොම හරි ඒක ජයග්‍රහණය කරන්න.   


?රාජපක්ෂවරුන් හැමදාම බැලුවේ යුද ජයග්‍රහණයෙන් වැජඹෙන්න කියන චෝදනාව ඔබ ඔප්පු කරනවා?   


නෑ... නෑ.. නෑ මම මේ කියන්නේ වෙන කතාවක්. අපි එහෙම යුද ජයග්‍රහණයෙන් සටන අවසන් කළාට එක්තරා වෙලාවක් තිබුණා පුදුම විදියට මතවාදී ප්‍රහාරයක් එල්ල කළා. කිලිනොච්චි නොවෙයි මැදවච්චි යන්නේ කිව්වා. අලිමංකඩ නොවෙයි පාමංකඩ යන්නේ කිව්වා. ජයරත්න එකෙන් ඇහුවා ‘අද ස්කෝර් එක කීයද?’ කියලා අය වැය පරද්දවන්න කට්ටිය ලෑස්ති වෙලා හිටියේ. ඒ අභියෝග ජයගන්න අපට දේශපාලන ශක්තියක් ලැබුණා. මේ පාර ඒ පිම්ම අපට පනින්න බැරි වුණා. නැත්නම් ඇත්තටම සැලසුම් සහගතව. මම ඇතුළු ඇමැති මණ්ඩලය අයින් කළා. අගමැතිවරයා අයින් කළා. ජනාධිපතිවරයට යන්න වුණා. ඇත්තටම අර යුද්ධය වෙලාවේ අර මම කියපු මතවාදී ප්‍රහාරය එල්ල කරපු කාලේ යම් විදියකින් මහින්ද රාජපක්ෂ ඉවත් වුණා නම් අද ඔහොම චෝදනාවක් ඇත්තෙත් නෑ. රටක් ඇත්තෙත් නෑ. අපි ඒ තීරණාත්මක මොහොත එදා පැන්නා. හරියට මවු කුසෙන් දරුවකු බිහිවෙන වෙලාව තමයි අන්තිම අමාරුම භයානකම මොහොත. යම් වැරැද්දක් වුණොත් අම්මගෙයි දරුවාගෙයි ජීවිත දෙකම නැති වෙනවා. ඒ මොහොත පන්න ගත්තොත් අම්මටත් ලොකු සහනයක් ලැබෙනවා. දරුවත් නිරුපද්‍රිතයි. පවුලටත් සම්පතක් ලැබෙනවා. අන්න ඒ වගේ දරුණු අවස්ථාවක් රටට උදාවුණා. ඒ අවස්ථාව පන්න ගන්න බැරිවීම ගැන මම දුක් වෙනවා.   


ඒ දරුණුම අවස්ථාවේ තමයි ඔබ පාර්ලිමේන්තුවට ඇවිත් මුදල් ඇමැතිකම බාරගත්තේ. ඔබට මොළ හතක් තියෙනවා කියලා කිව්වා. ඇයි ඔබට බැරි වුණේ වැඩේ ගොඩදාන්න.’   
ගොඩදාගෙන තමයි ආවේ. ඔයාට මතක ඇතිනේ සරත් ෆොන්සේකාට කිව්ව දේවල්’ එයා හොඳ යුද හමුදාවට නොවෙයි ගැලවීමේ හමුදාවට කියලා. එහෙම පුද්ගලයා අද කවුරුත් පිළිගන්නවා. අපිත් පිළිගන්නවා අපේ රටේ හොඳම හමුදාපති සරත් ෆොන්සේකා කියලා. එහෙම වුණේ එයාට ඒ කාර්ය කරන්න දීපු නිසයි. අර විදියට කියන වෙලාවේ හමුදාපතිව ඉවත් කළා නම් අද එහෙනම් මොනවද සරත් ෆොන්සේකාට කියන්නේ. හමුදා ඉතිහාසයේ නරකම දුර්වලම හමුදාපතිවරයා එයා කියලා කියයි. අන්න ඒ වගේ මම ඇවිත් රටේ ආර්ථිකය නංවන්න විදෙස් සංචිත වැඩි කරගන්න, ණය ටික ක්‍රමානුකූලව ගෙවලා ඉවර කරන්න, මේ විදියට බංකොළොත් රටක් බවට පත් නොවෙන්න, ඒ සියල්ලටම සැලසුම් කරලා අපේ සංචාරක ව්‍යාපාරය නංවන්න. විදේශ ප්‍රේශන වැඩි කරගන්න. අපේ අපනයනය වැඩිකර ගන්න. ලෝකයේ ඉහළම සෞඛ්‍ය සේවය. අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කරලා. මාර්ග පද්ධතිය දියුණු කරන්න, විදුලිය නිෂ්පාදනය වැඩි කරන්න, සියලුම දෙනාට බීමට ජලය සපයන්න, වාරිමාර්ග පුළුල් කරන්න. අපනයන ගම්මාන හදන්න. කර්මාන්තපුර හදන්න මේ සියල්ලම සැලසුම් කරලා තිබුණේ. සැලසුම් කරලා විතරක් නොවෙයි ක්‍රියාත්මක කරමින් තිබුණේ. අර මුලින් කිව්වා වගේ දරුවා ඉපදෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී බරපතළ වැරැද්දක් වුණා. මේක අපේ රටේ ජනතාවගේත් රටේත් අවාසනාව.   


?69 ලක්ෂයක ජන වරමක් ගත් ගෝඨාභයට වැරදුණේ කොතැන ද? ඒ සම්බන්ධයෙන් ඔබේ වැටහීම?   


ගෝඨාභය රාජපක්ෂට වැරදුණේ නෑ. ඒක දැන් රටේ ජනතාවට තේරිලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂට මොකක්ද වැරදිලා තියෙන්නේ. ඒක එතුමගේ ප්‍රශ්නයක් නොවෙයි. එතුමාට එකම දේ තියෙන්නේ තමන්ගේ දරුවා බලන්න යන්න තියෙන අයිතිය අහිමිවීම පමණයි.   


?මගේ ප්‍රශ්නය වුණේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ ඉටු කරන්න ඔහුට බැරිවීම ගැනයි?   


මම ඒකයි කිව්වෙ. 2005 දී මහින්ද රාජපක්ෂට රට බාරදුන්නේ ඒකීය රටක් හදන්නනේ. ඒ වගකීම ඉටුකරන්න බැරි​ වෙනවා අතරමග දී එතුමාව අයින් කළා නම්. එදා අය වැය පරද්දවන්න ලොකු සූදානමක් තිබුණා. ඒක කරගන්න පුළුවන් වුණා නම් එහෙනම් අද රට දෙකඩ වෙලා. එහෙම නම් ප්‍රභාකරන් රාජ්‍ය නායකයෙක් හැටියට හැම ජාත්‍යන්තර සමුළුවකටම යනවා. ඔහු වෙනම රටක නායකයෙක් හැටියට පිළිගැනීමට සම්භාවනාවට පත්වෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ ඒ අය වැය පරාජය කිරීමේ මෙහෙයුම පරාජය කළා. එහෙම කරලා ඒකීය රටකුත් හදලා සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවේ නෙවෙයි ත්‍රිවිධ හමුදාවෙම නායකයා බවට පත්කරලා වීරයෙක් කරන්න එතුමාට හැකි වුණා. එහෙම වුණේ අතරමගින් ඉවත් නොවුණු නිසයි. ඒක නිසා තමයි මම අදත් සිහිපත් කරන්නේ විමල් වීරවංශ මැතිතුමා ඇතුළු කණ්ඩායමක් එදා පක්ෂයෙන් එළියට ඇවිත් අය වැය ජයග්‍රහණය කරන්න උදව් කරපු එක ගැන. කරු ජයසූරිය මැතිතුමා ඇතුළු කණ්ඩායමක් සහාය දුන්නා. ඒ නිසා තමයි ඉදිරි වැඩ ටික අවසන් කරන්න අවස්ථාව ලැබුණේ. අදත් මම කියන්නේ අදත් අපට ඒ අවස්ථාව දුන්නා නම් යම්කිසි ආකාරයකට අපි මේ වෙනකොට අමාරුයි. ඔව් ඒක ඇත්ත. ඒ අමාරු වෙලාව පන්නා ගත්තා නම් සියල්ල සාර්ථක වෙනවා. ඒ අවස්ථාව නොදීම නිසා තමයි මේ විදියට අවසන් වුණේ.   


?වියත් මගේ උගතුන් හමුදා නිලධාරීන් ළං කරගෙන වැඩ කරන්න ගිහින් ගෝඨාභය අනාගත්තා කිව්වොත්?   


ඔහොම කිව්වට හරි ගියානම් ඔහොම නොවෙයිනේ කියන්නේ?   


?හරි නොගිය නිසානේ මෙහෙම අහන්නේ?   


මෙහෙමයි. කොවිඩ් එක වෙලාවේ වැක්සින් ප්‍රොග්‍රෑම් එක මම දැක්කා. යුද හමුදාව යොදා ගැනීම නිසා ඒක ඉතාම සාර්ථක වුණා. ලෝකයේ හොඳම එන්නත්කරණය බවට පත්කර ගත්තනේ. එතැන දී හමුදාවේ කාර්ය භාරය කොච්චර උසස් ද? ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දොස් කියන්න වෙනවා. කොවිඩ් එකට දක්වපු උනන්දුව අනික් ඒවටත් දැක්කුවා නම් සාර්ථක වෙන්න තිබුණා. නියමිත කාලයක් ජනතාව අපට දුන්නා. ඒ නියමිත කාලය අපට ඉඩ නොදීම තමයි මෙතැන ප්‍රශ්නය වුණේ. සිංගප්පූරුවේ ජනාධිපතිතුමාගේ කතාවක් මට මතක් වෙනවා. යුග දෙකකදී තීන්දු දෙකක් වෙනස් කළා. ඕනෑම රටක යම්කිසි දෙයක් කාලයක් කරන්න ඉඩ දෙන්න ඕනෑ. සිරිමාවෝ මැතිනිය කරගෙන ආපු වැඩපිළිවෙළ හරියට කළා නම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ නෑ. එතුමිය හැදුවේ මේ රටේ හදන්න පුළුවන් හැම දෙයක්ම හදන්න. වගාව පටන් ගත්තා. ඒක එකපාරටම වෙනස් කළා. එක පාරටම විවෘත ආර්ථිකයට ගියා. ඒකත් අතරමග දී වෙනස් කළා. එහෙම කරලා සාර්ථක වෙන්න බෑ. මෙතැනත් වුණේ එහෙම දෙයක්.   


?විමල් වීරවංශ ඇමැති ධුරය දරපු කාලෙදි කිව්වා ‘පක්ෂයේ නායකයා නොවීම නිසා ගෝඨාභය දුර්වල වෙලා’ කියලා?   


එහෙම දේශපාලන නිලයක් නැති වුණාම. දැන් එහෙම නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එහෙම කිසිම බලයක් නැතිව ජනාධිපති වුණා. පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ පොහොට්ටුවට. එයාගේ පක්ෂයෙන් එක්කෙනෙයි ඉන්නේ. ඉතින් ඒක බාධාවක් වෙලා නෑනේ.   

 

  • 21 වැනි සංශෝධනයෙන් මට ලොකු සහනයක් තියෙනවා

?රනිල් වික්‍රමසිංහ සාර්ථක වෙන්නත් ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක වෙන්නත් හේතුව ?   


ඒක තමයි ඉතින් රටේ අවාසනාව. ඒක තමයි මම කියන්නේ ඒක බාධාවක් වෙන්නේ නෑ කියලා.   


?මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඇතුළේ නිෂ්ක්‍රීය කළේ කවුද? ඔබද? ගෝඨාභය ද?   


නෑ. එහෙම නිෂ්ක්‍රීය කිරීමක් කළේ නෑ. ඔය ඔක්කොම දේවල් විග්‍රහ කරගන්න වෙන්නේ අපි මෙතැනදී පරාජය වෙච්ච හින්දනේ. අපි දිනුවා නම් ඕක කියන්නේ නෑනේ. එහෙම නම් කියන්නේ ‘මහින්ද රාජපක්ෂ හරි. එයා තමන්ගේ යුතුකම ඉෂ්ඨ කළා. ජනාධිපතිතුමාට නිදහසේ වැඩ කරන්න ඉඩ දුන්නා.’ කියලනේ. ඒක වැරදිච්ච නිසා තමයි මේ ඔක්කොම එන්නේ. මැච් එකක් දිනුවම ඔක්කොම හොඳයි කියනවා. පැරදුණාම රටේ නැති දේවල් කියනවා. අදටත් මම විශ්වාස කරනවා අපේ ආර්ථික අර්බුදය කාලයක් තිස්සේ ගොඩනැහිච්ච දෙයක්. විදේශ සංචිත ප්‍රශ්නය ගත්තොත් අපි මේක පුංචි කාලේ ඉඳලම අහලා තියෙනවා අපි අපනයන භෝගවලින් විතරක් යැපෙනවා. අය වැය පරතරය වැඩිවෙන්න පටන් ගත්තේ එක අවුරුද්දකින් නෙවෙයි. ඒක ටික ටික වැඩි වුණා. රාජ්‍ය වියදම් වැඩි කළා. රාජ්‍ය ආදායම් අඩු කළා. රාජ්‍ය සේවය පුළුල් වුණා. අපේ අය ප්‍රමාණය අඩුවුණා. වැය ප්‍රමාණය වැඩි වුණා. එහෙම ඇවිත් එක තැනක දී හිර වුණා. ඒ වෙලාවේ තමයි ගෝඨාභය රාජපක්ෂ එන්නේ. යුද්දෙදිත් එහෙමයි. කොළඹට ඇවිත් ගුවනින් බෝම්බ දානකොට තමයි යුද සැලසුම් හැදුණේ. මෙතැනදීත් සැලසුම් තිබුණා. ඒකට තව පොඩ්ඩක් අපේ රටේ ජනතාව ඉවසලා අපට සහයෝගය දුන්නා නම් අපට මේකෙන් ගොඩ එන්න තිබුණා.   


?ඉතාම කෙටි කාලයක දී මැතිවරණ පොරපිටියෙ හාස්කම් පාමින් පෙරට ආපු පොහොට්ටුව දැන් ඉරිතලලා පතුරු ගැලවෙන්න පටන් අරගෙන. මොකද වුණේ?   


ඉතාම කෙටි කලකින් තමයි මේ පක්ෂය හැදුණේ. මේ පක්ෂය බලයට එනකොට අවුරුදු තුනයි වයස. බොහොම ජයග්‍රාහී පක්ෂයක්. වේගයෙන් නැග්ගා. වේගයෙන් නැග්ගා වගේම වේගයෙන් බැස්සා. දැන් අපි ඊටත් වඩා වැඩි වේගයෙන් නගිනවා.   


?විමල් වීරවංශ උදය ගම්මන්පිල ඉවත් කිරීමේ මෙහෙයුමේ පිටිපස්සේ හිටියේ ඔබ?   


නෑ. මම පැහැදිළිව කියනවා එහෙම නෑ කියලා.   


?ආණ්ඩුව දෙදරන්න පටන් ගත්තේ එතැනින් නේද?   


එහෙම හිතන්න පුළුවන්. හැබැයි ඉතින් මගේ එකම ඉල්ලීම මූණත් එක්ක තරහවට නහය කපා ගන්නේ නැතුව වැඩ කරනවා නම් හොඳයි. 70 - 77 ආණ්ඩුවෙන් 75 දී ආණ්ඩුවෙන් සම සමාජ කොමියුනිස්ට් පක්ෂ ඉවත් වුණා. ඒකට හේතුව ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක කියලා කතාවක් තියෙනවා.   


?පොහොට්ටුවේ ආණ්ඩුවේ ෆීලික්ස් ඩයස් වුණේ ඔබ ?   


මම ඒකයි කිව්වේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක නිසා එහෙම වුණා කියලා කිව්වට ඒක මතයක් පමණයි. ඒ මතය පිළිගන්න අය ඉන්නවා. අවාසනාවන්තකම කියන්නේ මහා මාර්ග හැදීම විදුලිය දීම සමාජවාදී රටවල්වල ධනවාදී රටවල්වල ප්‍රධානම සංවර්ධන ව්‍යාපෘති ලෙස සලකන්නේ. ඒක අපේ රටේ මහා නරකක් වෙලා තියෙනවා. අද පාරක් හැදුවොත් කියන්නේ මේක හැදුවේ හොරකම් කරන්න කියලයි. ඒක මතයක් බවට පත් කරලා. ඒ වගේ මතයක් තමයි මං ගැනත් හදලා තියෙන්නේ. අපේ රටේ ඉතාම නරකම දේ තමයි මේ මත හදලා තියෙන විදිය. මේක හරියට අම්මයි තාත්තයි තමන්ගෙ දරුවා ‘කරුමයක්’ විදියට සලකනවා වගේ දෙයක්. දරුවා සම්බන්ධයෙන් දෙමාපියන් තුළ වෛරයක් ඇති කරවනවා. අන්න ඒ වගේ කනගාටුදායක තත්ත්වයක් තමයි අද රටේ ඇති කරලා තියෙන්නේ. හැම හොඳ දෙයක්ම ඒ ප්‍රතිලාභ ලබන ජනතාවටම ඒත්තු ගන්වලා තියෙනවා ඒක හොඳ නෑ කියලා.   


?පොහොට්ටුවෙන් එළියට ගිය ඩලස්ගෙ කණ්ඩායම හා අනුර ප්‍රියදර්ශන යාපා කණ්ඩායම සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවද?   


මගේ නම් මතය ඒ අය නැවත එන්න ඕනෑ කියලයි. හැබැයි ඒ අතර ඔය කියන කට්ටිය පැහැදිළිවම මම කියනවා සමහරු මුල ඉඳලම යන්න හිටියේ. හැබැයි ඒ වගේම සමහරු එතැන හිටියෙ නෑ. වෙන පක්ෂවලට ගිහින් ඇමැතිකම් ගැනීමේ බලාපොරොත්තුවක් සමහරුන්ට​ තිබුණේ නෑ. මෛත්‍රිපාල  සිරිසේන මහත්තයා ගත්තොත් යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවෙලා ඉඳලා අපේ පක්ෂයෙන් තමයි මන්ත්‍රී කෙනෙක් වුණේ. ඒවා ඉතින් එහෙම තමයි මම කියන්නේ නැවත කල්පනා කරලා බලන්න කියලයි. ඔය ගිය හැම දෙනාටම ඉතාම පහසු තැන පොහොට්ටුවයි.  


?විමල් සමග යළි ගමනක් යන්න පුළුවන් වෙයි කියලා හිතනවද?  


බලාපොරොත්තුවක් නොවෙයි මගේ ආශාවක් තියෙනවා. ඒ එකතුවීම රට වෙනුවෙන් විය යුතුයි. ඒකට ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම්. අනික් පැත්තත් ඒ කැපකිරීම කරන්න සූදානම් නම් ඒක රටට හොඳයි කියලා මම හිතනවා.  

 

 

  • විමල් - උදය සමග යළි ගමනක් යන්න ආශාවක් තියෙනවා. ඒ එකතුවීම රට වෙනුවෙන්  විය යුතුයි

?අගමැති ධුරයක් ජනාධිපති ධුරයක් ගියේ පොහොට්ටුවේ නොවන දෙදෙනකුට?  


ඒ තරමට පොහොට්ටුව පරිත්‍යාගශීලියි. බලයට තනතුරුවලට අපි කෑදර නෑ. අපි කැමැතියි ඕනෑම කෙනෙකුට සහයෝගය දෙන්න. ඒ හින්දා අපි බලයට කෑදරයි කියනවා නම් ඒකට හොඳ උදාහරණයක්. එහෙම බලයක් අවශ්‍ය නෑ. අද කැබිනට් මණ්ඩලයෙ පොහොට්ටුවේ කවුද ඉන්නේ. බොහොම සුළු දෙනයි ඉන්නේ. සමහරු පොහොට්ටුවේ ද කියලා ඔවුන් දන්නෙත් නෑ. පොහොට්ටුව ඒ තරම් නිදහස්. ප්‍රජාතන්ත්‍රවාදියි. අපි කියන්නේ වෙනස්ව හිතන්න කියලයි. ඔය ගිය අයට විරුද්ධව අපි ලියුමක්වත් යවලා තියෙනවද? අපි එහෙම කරලා නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳගෙන පොහොට්ටුවෙන් ඡන්ද ඉල්ලලා පොහොට්ටුවේ ඉන්න අයට විරුද්ධව ශ්‍රී ලංකා එක ලියුම් ගහනවා. අපි එහෙම කරලා නෑ.  


?පොහොට්ටුවේ අය අගමැති ධුරයට ජනාධිපති ධුරයට නොදැම්මේ එහෙම දැම්මොත් ඒක අනාගතයේ දී නාමල් රාජපක්ෂට බාධාවක් වෙයි කියලයි?  


එහෙම නොවෙයි. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනෑ.  


?රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට තෝරා ගත්තෙම රාජපක්ෂලාගේ ආරක්ෂාවට?  


රාජපක්ෂලා මුළු රටම ආරක්ෂා කරනවා. හැබැයි රට රාජපක්ෂලාව ආරක්ෂා කරනවද? නැද්ද? කියලා මම දන්නේ නෑ. හැබැයි රාජපක්ෂලා බැඳිලා ඉන්නවා උත්පත්තියෙන්ම රට ආරක්ෂා කරන්න. ඒ රට ආරක්ෂා කරන්නේ කවුද ඔහු ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා.  


?අරගලකරුවන් දිහා ඔබ බලන්නේ කොහොමද? ඔවුන් සමග සංවාදයකට යන්න සූදානම් ද?  


වර්තමාන ජනාධිපතිතුමා ඒක හුඟාක් කරගෙන යනවා. ඒකම පොහොට්ටුවෙන් ලැබිය යුතු සහයෝගය දෙනවා. අපේ නම් බලාපොරොත්තුව ඒ කට්ටියට ඉස්සෙල්ලා අපෙන් ඉවත්වෙලා ගිය අය කණ්ඩායම් එකතු කර ගැනීමයි. ඔවුන්ගේ හඬට සවන් දෙන්න අපි වඩාත් සූදානම්. ඔවුන් තමයි අපට වඩාත් කිට්ටු.  


?ඔබට මේ ප්‍රශ්නය මග හරින්නත් පුළුවන්. ඔබ ද්විත්ව පුරවැසිභාවය අත නොහරින්නේ ඔබ නොකියන රහස් හේතුවක් නිසා?  


එහෙමත් නොවෙයි. ඒ 21 වැනි සංශෝධනයෙන් මට ලොකු සහනයක් තියෙනවා. ඒ සහනය තමයි මගේ ප්‍රධාන බැඳීම් කීපයකින් මිදෙන්න අවස්ථාව ලැබුණා.  


?පැහැදිළි කළොත්?  


මම ඔය 21 සම්මත වෙන්න ඉස්සෙල්ලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුණේ. මම ඒක මගේ පෞද්ගලික තීන්දුවක් හැටියට ගත්තේ. ඒක පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සම්මත කිරීම මම සලකන්නේ මම ගත්ත තීන්දුව අනුමත කිරීමක් හැටියටයි. අපට තියෙන චෝදනාවක් තමයි රාජපක්ෂ පවුලට අපි අදිනවා කියලා.  


?ඒක බොරුවක් නොවෙයිනේ. කැබිනට් එකේම රාජපක්ෂලා කී දෙනෙක්ද?  


ඇත්තටම ඇත්ත. මම ඒක පිළිගන්නවා. මම බොහොම රාජපක්ෂවාදියෙක්. පවුල්වාදියෙක්. ඒකෙන් නිදහස් වෙන්න මට පුළුවන් වුණා. දැන් මට බැඳීම තිබෙන්නේ මහින්ද රාජපක්ෂ සමඟ පමණයි.  


?නැවත දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවද?  


මගේ යුතුකමක් තියෙනවා ප්‍රාදේශීය සභාවල මහජන නියෝජිතයන් හැටියට පත්වෙලා ඉන්න පොහොට්ටුවේ කට්ටිය ආරක්ෂා කරන්න. ඒ වෙනුවෙන් මම සක්‍රීය දේශපාලනය කරනවා. ඔවුන් තමයි පක්ෂය ආරම්භ කළේ. ඔවුන් තමයි පළමුවැනි ජයග්‍රහණය ලබා දුන්නේ. මෙතැනදිත් ඔවුන් අප සමග හිටියා. ඒ නිසා ඊළඟ පළාත් පාලන ඡන්දෙදී ඔවුන් ජයග්‍රහණය කරවීම සඳහා මම සක්‍රීය දේශපාලනයේ ඉන්නවා. මට තනතුරු දරන්න නීතියෙන් බලයක් නෑ. මට මන්ත්‍රී කෙනෙක් වෙන්න ඇමැති කෙනක් වෙන්න අගමැති වෙන්න ජනාධිපති වෙන්න තමයි මේ ආයෙත් ඇවිත් වැඩ කරන්නේ කියලා දැන් මට කාටවත් චෝදනා කරන්න බෑ. මට ඒක නීතියෙන්ම කරන්න බෑ.

 

 

  • දැන් මට බැඳීම තියෙන්නේ මහින්ද රාජපක්ෂ සමග පමණයි

?ඔබ දැන් සාමාන්‍ය පුරවැසියෙක්. හැබැයි ඔබ කටුනායක ගුවන් තොටුපළෙන් එළියට එන්නේ පොලිස් ආරක්ෂාව සහිතව පරණ සෙල්ලම් ද මේ පටන් ගන්න යන්නේ?  


මම ඇමැති කාලෙවත් පොලිස් ආරක්ෂාව අරගෙන නෑ. මට විශේෂ පොලිස් ආරක්ෂාවක් එතැන දී දුන්නෙත් නෑ. වාහන හසුරුවන්න ආපු පොලිස් බයික් එකක් තමයි එතැන තිබිලා තියෙන්නේ. මම ඒක දැක්ක ගමන් අයින් කළා. කිලෝ මීටරයක්වත් ​ආවේ නෑ. පොලිසිය ඉන්නේ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරන්න තමයි. ඒ අනුව සාමාන්‍ය පුරවැසියකු වෙච්ච මාව ආරක්ෂා කරන්න ඉදිරිපත් වීම ගැන මම පොලිසියට ස්තූති කරනවා.

 සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකේන් 



අදහස් (8)

අපේ බලාපොරොත්තුව ඉවත්වෙලා ගිය අය එකතු කර ගැනීමයි

mp Tuesday, 29 November 2022 05:22 AM

මේ උදවිය, මේ රටට සහ ජනතාවට සිදුකළ බරපතල හානිය පෙනි පෙනී විඳිද්දීත් මොවුන්ගේ අවලම් කතා පුවත්පත් හරහා ජනතාවට ඉදිරිපත් කර නැවතත් ඔවුන්ගේ මනස විකෘති කිරීමට හැකිවෙයි කියා සිතනවා නම්, එය මුලාවේ අන්තයයි. අප්‍රිය ජනක ප්‍රෝඩාවෙන් පිරුණු මේ කතා අපට ඕනේ නැහැ...

:       1       7

nimal Tuesday, 29 November 2022 08:08 AM

ඔබලාගේ බලාපොරොත්තුව සහ වගකීම වියයුත්තේ රට අලුත් කණ්ඩායමකට බාරදීම වේ.

:       0       4

Senarath Tuesday, 29 November 2022 09:16 AM

යුද්ධයෙන් රට බේරගත්තා කියලා රටේ සම්පත් කොල්ලකන්න දෙන්න බැහැ. යුද්ධයට වැඩිම දායකත්වය දුන්නේ පහළම නිලවල හිටපු සොල්දාදුවෝ...,කෝප්‍රල්ලා, සාජන්ලා...

:       1       13

ganegoda Wednesday, 30 November 2022 10:20 AM

මුණ නිකන් පිටිපස්ස පැත්ත වගේ...

:       2       13

mp Thursday, 01 December 2022 07:38 AM

රෙදි අඳින්නේ මොකටද?

:       1       12

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 02 December 2022 06:13 AM

මමනම් හිතන්නෙ ස්වභාදහම විසින් වැරදි මිනිස්සුන්ට එරෙහි දඩුවම නියමිතම වෙලාවෙ ඔවුනට ලබාදෙනව කියල...නැත්නම් මොකටද රටක්ම නිනාශ කරල වෙන රටකට පලා ගිය මිනිහෙක් ආයෙත් ඒ රටටම එන්නෙ....?

:       1       6

විජිත් Saturday, 03 December 2022 05:00 AM

ඔබ හරියටම හරි...!!! සොභාව ධර්මයා මේ හොර " කපුටා"ව ඇමෙරිකාවේ නොතියා ආපහු ලංකාවටම එව්වේ .." නියම වෙලාවට නියමිත විදිහටම මහා පාරේදී මහාජනයාගෙන් මදි නොකියන්න ගුටිකා ...අපාගත වීමටයි. " මේ දැනුත් අපායේ ලෝදිය හැලියක් ලැහැස්ති කරලාලු තියෙන්නේ රාජපක්ෂ හොර පවුලටත්, රනිල් කුඩම්මාටත් ලෝදිය පොවන්නත්, ලෝදිය නාවන්නත්..

:       0       2

nihal Saturday, 03 December 2022 09:36 PM

අපෝ ආපහු ඇවිත්...

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 65 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 900 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2300 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2151 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site