(අංජුල මහික වීරරත්න)

කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරේ මේ වන විට ජීවත්ව සිටි වයෝවෘද්ධම කවියා වූ කිවිපති, කලා භූෂණ කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත විය.

හිටිවන කවියෙන් සිරිලකම රස ගැන්වූ ජයවර්ධන මහතා මිය යන විට 98 වන වියෙහි පසු විය. අග්‍රගන්‍ය කවියකු ලෙස අතිශයින් ජනාදරයට පත්ව සිටි කිරල ගහවෙල කවියා නවකතා සහ කෙටි කතා රචකයකු මෙන්ම ගුවන්විදුලි නාට්‍ය රචකයකු ලෙසද ප්‍රකටව සිටියේය.

ප්‍රකට කිවිඳියකව සිටි දීයගහ චන්ද්‍රා විදානපතිරණ මහත්මිය සමග යුග දිවියට එළඹ සිටි මාර්ටින් ජයවර්ධන මහතා ඉන්ද්‍රා, චන්ද්‍රිකා විජිතා, රංජන්, ජගත්, වෛද්‍ය චම්පිකා යන කලා ක්ෂේත්‍රයට සම්බන්ධ දූ පුතුන් හය දෙනකුගේ ආදරණීය පියාණන්ය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාතිලක හඳුවල මහතා ඇතුළු බෑණනුවන් සහ ලේලිවරුන්ගේ දයාබර මාමණ්ඩිය වන කිරලගහවෙල කවියා සරිත් සුරිත් තරුණ සංගීත ශිල්පීන් දෙපළ ඇතුළු මුණුබුරු මිනිබිරියන් 14 දෙනකුගේ මුත්තණුවන්ය.

දේහය හෙට (28) පෙරවරු 8.30 සිට 29 වැනිදා පස්වරු 5 තෙක් බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කර ඇති අතර ආදාහනය 29 වැනිදා පස්වරු 5 ටබොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී සිදු කෙරෙයි.