(රෝෂන් තුෂාර)

රේගුවට හොර රහසේ වසර පහක් ඇතුළත  ආනයනය කළ සුඛෝපභෝගී රථ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතිකව ලියාපදිංචි කර රජයට රුපියල් කෝටි අටසීයකට අධික පාඩුවක් කළේ යැයි කියන එම දෙපාර්තමේන්තුවේ සැකකාර නිලධාරීන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වහා අධි චෝදනා ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට අද නියෝග කළේය.

2015 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ සුඛෝපභෝගී වාහන 178ක් රේගුවට හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට කෝටි ගණනක බදු අහිමි කර ඇති බව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

එලෙස හොර රහසේ ආනයනය කළ වාහන 178 න්, වාහන 3ක් හොරට ලියාපදිංචි කළේ යැයි කියන හිටපු සංවර්ධන සහකාර, විමර්ශන සහකාර හා හිටපු සහකාර කොමසාරිස් තනතුරු හෙබවූ සැකකරුවන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මෙම කරුණු ඉදිරිපත් කළේය.