(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා හමුදාවේ ධාරිතාව ගොඩනැගීම සඳහා කෘතීම බුද්ධි තාක්ෂණයෙන් යුතු පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට ඉන්දියාව කටයුතු කරන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

මෙරට සන්නද්ධ හමුදාවන්ගේ ධාරිතාව ගොඩනැගීම සඳහා ඉන්දියාව අඛණ්ඩව කැපවී සිටින හවුල්කරුවකු බවද ඔහු පැවැසුවේය. ඉන්දීයාව මෙරටට ලබාදෙන ආරක්ෂක වැඩසටහන යටතේ ලබාදෙන ආධාරවල කොටසක් රැගෙන අයි.එන්.එස් උදයගිරි නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි බවද ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

උදයගිරි නෞකාව රැගෙන ආ ආධාරවල මෙරට හමුදාවට අවශ්‍ය උපකරණ හා උපාංග රැසක් තිබුණු බවද ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකා ගුවන් හමුදවේ ඉන්ද්‍රා එම්.කේ-2 රේඩාර් පද්ධතියට අවශ්‍ය අමතර කොටස්, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සයුර නෞකාව සඳහා අවශ්‍ය අමතර කොටස් සහ නාවික හමුදා පුහුණුව සඳහා භාවිත කරන පිම්බෙන ඉලක්ක එම ආධාරවලට අයත් වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

අයි.එන්.එස් උදයගිරි නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය, දෙරටේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ශ්‍රී ලංකා මිතුරන් සමඟ සමීපව එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සතු කැපවීම සහ අභිලාෂය පෙන්නුම් කරන සංකේතයක් බවද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ ධාරිතා වර්ධනය දෙරටේ ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයේ ප්‍රධාන කුලුනක් බවත්, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ අවශ්‍යතා මෙන්ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා හා ප්‍රමුඛතා සැලකිල්ලට ගනිමින් ඒවාට ප්‍රතිචාර දැක්වීමට ඉන්දියාව නිරන්තරයෙන් කටයුතු කරන බවත් රාජ්නාත් සිං මහතා සඳහන් කළේය.

සමුද්‍රීය සහයෝගීතාවයට ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් එම ක්ෂේත්‍රයේ දෙරට අතර වඩාත් සමීප හා ගැඹුරු සහයෝගීතාවක් ඉදිරියේදී ඇතිවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවසීය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දිගුකාලීන මිතුරන් සහ අසල්වැසියන් පමණක් නොව, දෙරට අතර පවතින පොදු සංස්කෘතික, ඓතිහාසික සහ ශිෂ්ටාචාරමය උරුමය මත සබඳතා ගොඩනගාගෙන ඇති රටවල් දෙකක් බවද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.