(සුමිත් පොතුපිටිය   සහ   බිමල් ශ්‍යාමන් ජයසිංහ-)

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව‍ය  ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත නොහොත් පානදුර කුඩු සලිඳු නමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 04 කට ආසන්න දේපළ තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

පානදුර රත්නපුර මාර්ගයේ මහබෙලන හන්දියේ පිහිටි තහනමට ලක් කළ දේපළ අතර පර්චස් 40ක භූමි භාගයක පිහිටි නිවසක් , ගබඩා සංකීර්ණයක් සහ කඩ කාමරයක්ද වන බව පොලිසිය කියයි.

විදේශගතව සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කුඩු සළිඳු නමැත්තා  අධිකරණයට ඉදිරිපත් කර සිටියදී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව හොර රහසේ නැවත  විදේශ රටකට පලා ගොස් තිබිණි.

කුඩු සලිඳු   මත්ද්‍රව්‍ය  ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් මිලදී ගත් බව කියන දේපළ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා  නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන්  සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වූ තොරතුරු අනුව   මෙම දේපළ තහනමට ලක් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.