(විමුක්ති එස් රුද්‍රිගු)

හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක ව්‍යාපෘතියක් බවත් ව්‍යාපෘතිය සඳහා ඉඩම ලබා ගත්තේ එවකට සිටි ඇමතිවරයාගේ වුවමනාවට බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා පැවසුවේය.

හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය සඳහා ලබා ගෙන ඇති ඉඩම විශාල අලීන් සංඛ්‍යාවක් රඳවා තැබීමට සුදුසු නොවන බව ඔහු ප්‍රකාශ කළේය.2020 වසරේදී අලි මිනිස් ගැටුම විසඳීමට ජාතික ක්‍රියාකාරී සැලසුමක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කළත් 2022 වසර වන තෙක් එම සැලැස්ම ක්‍රියාත්මක නොවූ බව පිලිපිටිය මහතා පෙන්වා දුන්නේය.පසුගියදා සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කළ බවද ඔහු පැවසුවේය.

අලියන් දේපල විනාශ කිරීම වැළැක්වීම සඳහා කළ යුත්තේ රක්ෂිත වල විදුලි වැටවල් යෙදීම නොව ආරක්ෂා කළ යුතු දේපල වටා විදුලි වැටවල් ඉදිකිරිම බව පිලිපිටිය මහතා සඳහන් කළේය.

ඉන්දියාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිසුන් වැඩි ප්‍රමාණයක් මිය යද්දී ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමෙන් අලියන් වැඩි ප්‍රමාණයක් මියයන බව පිලිපිටිය මහතා පෙන්වා දුන්නේය.

අලියන් නිකරුනේ මිනිසුන් මැරීමට පෙළඹෙන්නේ නැති බවත් බොහෝ අවස්ථාවලදී මිනිසුන්ද එයට වගකිව යුතු බවත් ඔහු පැවසුවේය.එසේම පශු වෛද්‍ය උපාධියේ වන ජීවින් පිළිබඳව තිබෙන්නේ එක් විෂයක් පමණක් බවද ඔහු සඳහන් කළේය.