(යොහාන් භාසුර)

ජෝර්දානය හුවමාරු මධ්‍යස්ථානයක් කර ගනිමින් විවිධ රටවල රැකියා සඳහා නීතීවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිලධාරීන් මෙම ජාවාරම පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවත් මෙවැනි අවදානම් සහගත අයුරින් විදේශ රැකියා සඳහා යොමු නොවන ලෙස සහ මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේසම් වන ලෙස ජනතාවගේන ඉල්ලා සිටින බවත් එම කාර්යංශය කීය.

රැකියාවක් සඳහා විදේශ ගතවන්නේ නම් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී එම කාර්යංශය මෙවැනි විදේශ රැකියා ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ඇත්නම් නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානය 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ 0112864241 අංකය ඔස්සේ හෝ විමර්ශන අංශය අමතා තොරතුරු ලබාදෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කළේය.