(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නයන දුල  සෙන්දනායක)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ හොරණ කඳන් හේන පදිංචි කොරෝනා  ආසාදිත  නිලධාරීවරයාගේ  අවුරුදු දෙකක් වයසැති දරුවාට,  මවට හා  බිරිඳගේ යෙහෙලියකට ද කොවිඩ් වසංගතය ආසාදිත වී ඇති  බව පී.සි.ආර් පරීක්ෂණයෙන් අද  (8) තහවුරු වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන  සෞඛ්‍ය පරීක්ෂක  සමන් ගීගනගේ මහතා පැවසීය.

බිරිඳගේ  යෙහෙළිය ද  හොරණ මූලික රෝහලේ අංක 5 වාට්ටුවේ හෙදියක් බවද ඇය යාල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව ගීගනගේ  මහතා කීය.
                     
පසුගිය මස  30  වැනි දින බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන එම නිළධාරිවරයා  නිවසට පැමිණීමෙන් අනතුරුව 3  වෙනි  දින ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන්  අනතුරුව ඊට දින තුනකට පසු 6  වෙනි දින  ඔහුට කොරෝනා වසන්ගතය ආසාදිත වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණයෙන් තහවුරු විය.

මේ තත්ත්වයත් සමග  එදින සිට  හොරණ මූලික රෝහලේ අංක 5 වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කිරීමට රෝහල් පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබිණි.

බ්‍රැන්ඩික්ස්  නිලධාරීවරයාගේ  සමීපතමයන්ට  සිදුකළ පි.සී.ආර්  පරීක්ෂණ  වලින් අනතුරුව  මේ බව අනාවරණය වූ බවත්  මේ වන විට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල  ප්‍රදේශයෙන්  කොරෝනා  වසංගත රෝගීන් සිව්දෙනෙකු හා මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි බල ප්‍රදේශයන් එක් රෝගියෙක්ද   වාර්තා වී ඇතැයි  දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.