(සුජිත් හේවාජුලිගේ )

වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත්  ‘හරක් කටා’ගේ ජීවිතයට හානි කර යම් යම් අපරාධවල  සාක්ෂි වසන් කිරීමේ උත්සාහයක් පවතින හෙයින් ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි  හරක් කටාගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරමින් ඉල්ලීමක් කර ඇත.

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ පෙරේදා (සැප්තැම්බර් 24) එම කොමිසමට යොමු කළ ලිපියකිනි.

එම ලිපියෙන් ඔහු පවසන්නේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ සිට වැලිසර විශේෂ රඳවා ගැනීමේ මධ්‍යස්ථානය වෙත සිය පුත්‍රයා මාරු කිරීමෙන්  ඔහුගේ ජීවිතයට බරපතළ තර්ජන  මතුව ඇති බවයි.

එම රැඳවුම්  ස්ථානයේ තම පුත්‍රයාගේ ප්‍රතිවාදීන් වන  ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘බැකෝ සමන්’ සහ ‘පානදුර නිලංග’ යන අය ද රඳවා සිටින හෙයින්  පුත්‍රයාගේ ජීවිතයට  තර්ජනයක් ඇතිවිය හැකි බව  නෙල්සන් වික්‍රමරත්න සිය  පැමිණිල්ලේ  සඳහන් කර ඇත.

මේ අතර  හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ අතර  පසුගිය 22වෙනිදා ඇති වූ ගැටුමකින් පද්මේ  තුවාල ලැබීය.

කෙසේ වෙතත්, එම ගැටුමෙන් පසු තම පුත්‍රයා හමුවීමට පවුලේ සාමාජිකයන්ට හෝ නීතිඥවරුන්ට අවස්ථාව ලබාදී නොමැති බවටද  පියා චෝදනා කරයි.