(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පානදුර සුමිත් පොතුපිටි)

ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 12ක් සමඟ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය කියයි.

එම  ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට කිරීමට යොදාගත් ප්‍රින්ටරයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

ත්‍රීරෝද රථයකින් ගමන් කර තිබූ යුවළ කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ වෙළඳ සලකට ගොස් රුපියල් 5000 මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිලදී ගෙන ඇති අතර ඒ පිළිබඳ සැක සිතූ වෙළඳසල් හිමිකරු පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම යුවල පදිංචි කළුතර දකුණ පොලිස් වසමේ නිවස පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී තවත් ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු එකොළහක් මුද්‍රණය කිරීමට යොදා ගත් ප්‍රින්ටරය සොයාගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරීහු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ වයස අවුරුදු  47 වියෙහි පසුවන දෙදෙනෙකි.

සැකකාර අඹුසැමි යුවළ කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.