(අමදෝරැ අමරජීව)

පෞරාණික වටිනාකමක් ඇතැයි සැක කරන පාෂාණයක කොටසක් විකිණීම සඳහා මුලතිව් ප්‍රදේශයට රැගෙන ගොස් ආපසු පැමිණෙද්දී  තෙන්නමරවාඩි ප්‍රදේශයේදී සැකකරුවන් පස්දෙනකු සමග ඔවුන් ගමන් ගත් මෝටර් රථය හා සැකකටයුතු පාෂාණමය කොටස අත්අඩංගුවට ගත් බව පුල්මුඩේ පොලිසිය කියයි.

පුල්මුඩේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල තිලක් බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව මුලතිව් සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් මෝටර් රථය සමඟ සැකකරුවන් පස්දෙනා පෞරාණික පාෂාණමය කොටස සමඟ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන් ත්‍රිකුණාමලයේ පදිංචිකරුවන් වන අතර මෙම පාෂාණමය කොටස මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයකුට විකිණීමට රැගෙන ගොස් එය ගැනුම්කරු විසින් මිලදි නොගැනීම නිසා ආපසු රැගෙන එද්දී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරුවන් කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහි පෞරාණික බව සම්බන්ධයෙන් අධිකරණ අවසරය මත පුරාවිද්‍යා වාර්තාවක් කැඳවීමටද නියමිතය. පුල්මුඩේ සහකාර පොලිස් අධිකාරී චරිත ඒ.බි. ජයසුන්දර මහතාගේ උපදෙස් මත පුල්මුඩේ පොලිස් ස්ථානාධිපති අනිල තිලක් බණ්ඩාර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.