(යොහාන් භාසුර)
වගකීම පැහැර හැරි විදේශ රැකියා ඒජන්සිවලින් වින්දිතයන්ට රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් (34,174,000) මෙම වසරේ ගෙවුණු මාස 11 යේදී අයකර දීමට හැකි වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම මුදල පසුගිය වසරට සාපේක්‍ෂව අයකිරීම්වල විශාල ඉහළ යෑමක් බවත් පසුගිය වසරේ රුපියල් 8,945,900 ක් අයකරගත් බවත් එම කාර්යංශය සඳහන් කරයි.
විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා නොදීම සහ විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා නොදීම හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම ආදී කරුණු මත මෙම වසරේ ජනවාරි 1 සිට නොවැම්බර් මස 30 දක්වා කාලය තුළ එම කාර්යාංශයේ විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි විභාග කර මෙම මුදල් වින්දිතයන්ට අයකරදීමට කටයුතු කළ බව කී එම කාර්යංශය මෙම කාලසීමාව තුළදී විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිලි 1,080 න් පැමිණිලි 614 ක් කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට එරෙහිව ලැබී තිබූ බව ද සඳහන් කළේය.
නීති විරෝධී අයුරින් කටයුතු කර ඇති බවට තහවුරු වූ ඒජන්සි 13 ක කම්කරු බලපත්‍ර මේ වන විට අවලංගු කර තවදුරටත් පවතින පැමිණිලිවල ස්වභාවය අනුව ඒජන්සි කිහිපයක බලපත්‍ර අවලංගු කිරීමට නියමිත බවත් විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිවිරෝධි කටයුතු පිළිබඳව ලැබුණු තොරතුරු අනුව කළ වැටලීම් 26 කදී පුද්ගලයන් 75 ක් අත්අඩංගුවට ගත් බවත් එම කාර්යංශය කියයි.
මෙම කාලසීමාව තුළදී පැමිණිලි විභාග කළ පැමිණිලි 875 ක් විසඳා අවසන් කර ඉන් 205 ක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති බව කී එම කාර්යංශය ඉන් නඩු 115 ක් ඒජන්සිවලට එරෙහිව පවරා ඇති බව ද වැඩි දුරටත් කීය.
COMMENTS