(පාලිත ආරියවංශ)

සොරකම් නඩවුක් සම්බන්දයෙන් බදුල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකරුවකු ඉකුත් 4 දා සවස ඇප ලබා ගෙදර යන අතරතුර බදුල්ල නගරයේ නගරයේ මත්පැන් අළෙවිකරන අවන් හලකට ගොස් එහිදී මත්පැන් පානය කර එම අවන් හලේම සේවයෙකුගේ ත්‍රිරෝද රථය සොරකම් කරගෙන යද්දී පොලිසියට කොටුවී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

බදුල්ල කොට්ඨාශ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් කුමාර සහ පොලිස් කොස්තාපල්. රූපසිංහ යන නිළධාරින් දෙදෙනා බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ රාජකාරියේ යෙදි සිටියදී මෙම ත්‍රිරෝද රථය පිළිබදව සැක පහළ වී පරීක්ෂා කළ අවස්ථාවේ සැකකරු බීමත් සිටි නිසා අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන විත් තිබේ.

මේ අතර ත්‍රිරෝද රථයේ, හිමිකරු අවන්හල ඉදිරියේ නතර කර තිබූ තමන් ගේ ත්‍රිරෝද රථය අතුරුදන්ව ඇතැයි පැමිණිලි කිරීමට බදුල්ල පොලිසියට පැමිණිලි කිරීමට පැමිණ තිබේ.

ඒ අවස්ථාවේ මෙම ත්‍රිරෝද රථය දැක තමන්ගේ ත්‍රිරෝද රථය බවට හදුනාගත් බවත් අත්අඩංගුවට ලත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තමා එම ත්‍රිරෝද රථයේ යතුරු වයර් කපා පණගන්වාගෙන මෙසේ රැගෙන ගිය බවත් පිළිගත්තේ යැයි පොලිසිය පැවසීය.