(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වළක්වා ගැනීමට පියවර නොගත්තැයි කියමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය මෙම මස 14 වෙනි දින පෙරවරු 9.30 ට ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

එදිනට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති තමන්ට එරෙහිව අපරාධ පැමිණිල්ල බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණි. දෙපාර්ශවයේ නීතිඥවරුන් පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ කරුණු ඉදිරිපත් කරන ලදී.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න මහතා සමග ජනාධිපති නීතිඥ හයිස් මුස්තාෆා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසුරිය මහතා පෙනී සිටියේය.