(සුජිත් හේවාජුලිගේ )

මීගමු ප්‍රදේශයේ හිටපු ඇමැතිවරයකු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අනුරාධපුර අක්කර 50 ක පමණ කැලෑ ඉඩමක් පොල්වත්තකට මාරු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවැසීය.

මෙයට අමතරව හිටපු තවත් ඇමැතිවරයකු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මහනුවර ප්‍රදේශයේ වටිනා ඉඩමක් නීති විරෝධීව පවරාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද රජය විසින් විශේෂ විමර්ශනයක් අරඹනු ලැබ ඇත.

එම දේශපාලඥයන් දේශපාලන බලය පාවිච්චි කරමින් මෙම දූෂණ හා වංචා සිදු කර ඇතැයි කියති.

මේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා වෙනම පොලිසියක්ද මෑතකදී පිහිටවනු ලැබූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට සහ ඉඩම් කොමසාරිස් වරයාට අයත් රටේ විවිධ ප්‍රදේශවල ( මුහුදුබඩ ප්‍රදේශද ඇතුළත්ව) ඉඩම් අක්කර දස දහස් ගණනක් අවභාවිතාවී ඇති බවටද තොරතුරු හෙළිවී ඇතැයි පවසන චන්ද්‍රසේන මහතා එම ඉඩම් රජයට නැවත අත්පත් කර ගැනීම සඳහා පොලීසිය සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයිද සඳහන් කළේය.

මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් ඔප්පු දෙසීයක් අතුරුදන් වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පවත්වන බව ඉඩම් ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.