(විමුක්ති එස් රුද්‍රිගු)

සිරියාවේ අල්-ටන්ෆ් ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු හමුදාවේ විශේෂ අණදෙන මෙහෙයුම් මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය පසුගියදා ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව පසුගිය පෙබරවාරි 28 වැනිදා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඇරැඹී මැද පෙරදිග අර්බුදයේදී ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සිරියාවේ පිහිටි ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ පළමු අවස්ථාව මෙය විය. ඉරාන්ෂාර් ප්‍රදේශයට ඇමෙරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන සොල්දාදුවන් ඝාතනයට ලක්වීමට පිළිතුරු ලෙස ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සියයට සියයක් තමන් සතු බවත් ඇමෙරිකාව ප්‍රහාර නතර කරන තෙක් කිසිම ඉන්ධන හෝ ස්වභාවික වායු ප්‍රවාහන නෞකාවකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ඉඩ නොතබන බවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය පැවැසුවේය.

සටන් විරාමය බිඳ වැටුණු පසු ඇමෙරිකාව හයවැනි දිනටත් ඉරානයට ප්‍රහාර එල්ල කර තිබූ අතර එහිදී ඉරාන සිවිල් යටිතල පහසුකම් ඇමෙරිකාවේ ඉලක්කය වී තිබිණි. ප්‍රධාන වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ඉස්ලාමීය ජනරජයේ හදවත බඳු ප්‍රදේශවලින් වෙන්කිරීම සඳහා සැලැසුම් සහගතව ඇමෙරිකානු හමුදාව මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

ඇමෙරිකානු හමුදාවේ ප්‍රහාරයෙන් ඉරානයේ පාලම් හතකට හානි වී ඇති අතර ඉන් හයක්ම පිහිටා ඇත්තේ බන්දාර් ඛමීර් ප්‍රදේශයේ යැයිද පැවැසෙයි. එම පාලම් බොහොමයක් දිවගොස් ඇත්තේ ඉරාන වරායන් සහ බන්දාර් අබ්බාස් නගරය වෙත යැයිද සඳහන් වේ. නවතම ඇමෙරිකානු ප්‍රහාර මාලාවෙන් ඉරාන වැසියන් 8ක් මියගොස් තවත් 20ක් තුවාල ලබා ඇතැයිද පැවැසෙයි.

ඇමෙරිකාවේ මෙම ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරානය මැද පෙරදිග කලාපයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබිණි. කුවේටයේ ස්ථාන කීපයකට ඉරාන ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය ප්‍රහාර එල්ල කර තිබූ අතර ඉන් එරට පිහිටි ඇමෙරිකානු හමුදා යටිතල පහසුකම්වලට දැඩි හානියක් සිදුවූ බවද පැවැසෙයි.