(අංජුල මහික වීරරත්න)

ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ ආබාධිත සිවිල් ප්‍රජාව විසින් ප්‍රමුඛ කේෂ්ත්‍ර 6ක් ඔස්සේ සකස් කළ අයවැය යෝජනාවලියක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙන ලදී.

ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැයෙන් විශේෂ සැලකිල්ලක් දක්වා විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීම සහ ආබාධ සහිත ප්‍රජාව සඳහා ප්‍රවේශ පහසුකම් වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට මෙහිදී ස්තුතිය පළ කළහ. 

ආබාධ සහිත ප්‍රජාව බලගැන්වීම සඳහා අවස්ථා නිර්මාණය කිරීම තුළින් ඔවුන්ද සමාජයේ සාමාන්‍ය කොටස්කරුවන් බවට පත්කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා 'එක්ව අත්නොහැර' ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කර ඇති බවත්, අයවැය යෝජනාද ඊට අනුගත වන පරිදි සකස් කර ඇති බවත් ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මීට අමතරව සංචාරක කර්මාන්තය තුළ ආබාධ සහිත ප්‍රජාවගේ සහභාගීත්වය වැඩි කිරීම සහ ප්‍රවේශ පහසුකම් වැඩි කිරීම සම්බන්ධව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. සාම්ප්‍රදායික ආබාධිත ප්‍රජාව බලගැන්වීමට සකසා ඇති පුහුණුව තුළින් එම පිරිසට විවෘත රැකියා වෙළෙඳපොළ තුළ අවස්ථා නිර්මාණය නොවන බවද මෙහිදී අවධාරණය කරන ලදී.

ආබාධ සහිත ප්‍රජාව සමාජයේ සම කොටස්කරුවන් බවට පත් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපති ලේකම්වරයා, ඊට අවශ්‍ය චක්‍රලේඛ  හා නියෝග කඩිනමින් නිකුත් කිරීමටත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරිමටත් පියවර ගන්නා බව වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක  බණ්ඩාර යන මහතා, ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදය, ආබාධ සහිත ප්‍රජාව සහ  සිවිල් සමාජ නියෝජිතයෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.