මුහම්මද් නබි නායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් සිය නිල වෙබ් අඩවිය ඔස්සේ ලිඛිත පණිවිඩයක් නිකුත් කරමින් ඉරාන උත්තරීතර නායක මොජ්තබා කමේනි සඳහන් කර ඇත්තේ, මුස්ලිම් ජාතීන් මුහුණ දෙන ගැටලුවලට එකම විසඳුම අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ සමගිය බවය. 

මුස්ලිම් සමාජය තුළ බෙදීම් ඇති කිරීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම්, ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉස්ලාමයේ සතුරන්ට සේවය කරන බව ද ඔහු පෙන්වා දී ඇත.

ඉකුත් පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භයේදීම සිය පියා වූ අලි ඛමේනි ඝාතනය වීමෙන් පසුව බලයට පත් මොජ්තබා කමේනි, මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී සිට නැති අතර ඔහුගේ වීඩියෝ හෝ හඬ පටයක් හෝ නිකුත් වී නැත.

පසුගිය දා යුද ගැටුම් උණුසුම් වෙද්දී, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය, කුවේට්, කටාර් සහ බහරේන් යන රටවල පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ඉරානය ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම කලාපීය රටවල් සමඟ සබඳතා පළුදු වී ඇති පසුබිමක, සැබෑ සතුරා හඳුනාගෙන ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව එකමුතු වන ලෙස ඉස්ලාමීය උත්තරීතර නායකයා කලාපීය රටවල නාකයන්ට පෙන්වා දී ඇත.

අභ්‍යන්තර මතභේද පසෙකලා රටේ සාමාජික ඒකාබද්ධතාවය සුරක්ෂිත කරන ලෙස ඉරාන ජනතාවගෙන් ඉල්ලා සිටින උත්තරීතර නායකයා, ඇමෙරිකානු නාවික වැටලීම් සහ සම්බාධක හමුවේ ඉරාන ආර්ථිකය ඩොලර් මත රඳා පැවතීම පියවරෙන් පියවර අවම කරමින් දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව ද මොජ්තබා කමේනී වැඩිදුරටත් අවධාරණය කර ඇත.