විශ්වයේ අබිරහස් සෙවීමේ අරමුණින් නිර්මාණය කළ අති නවීන තාක්ෂණයෙන් සමන්විත ‘නැන්සි ග්‍රේස් රෝමන්’ නමැති අභ්‍යවකාශ දුරේක්ෂය අභ්‍යවකාශයට මුදා හැරීමට ඇමෙරිකාවේ නාසා ආයතනයට හැකි විය. 

ඇමෙරිකාවේ නාසා ආයතනය, මෙසේ අභ්‍යවකාශ දුරේක්ෂයක් අභ්‍යවකාශයට යැවීම කළේ 1990 වසරේ දී අභ්‍යවකාශ ගත කළ හබල් සහ 2021 වසරේ දී අභ්‍යවකාශ ගත කළ ජේම්ස් වෙබ් දුරේක්ෂවලින් පසුවය. 
දුරේක්ෂය රැගත් ‘ස්පේස් එක්ස්’ සමාගමේ ‘ෆෝල්කන්’ රොකට්ටුව, ෆ්ලොරිඩාවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියේ 30 වැනිදාය. 

අභ්‍යවකාශ ගමන් බිමන්වලදී ඉලොන් මස්ක්ට අයත් ‘ස්පේක් එක්ස්’ සමාගම, ඇමෙරිකාවේ නාසා ආයතනය සමග අත්වැල් බැඳගෙන සිටී. ‘නැන්සි ග්‍රේස් රෝමන්’ අභ්‍යවකාශ දුරේක්ෂය නාසා විද්‍යාඥයන්ගේ නිර්මාණයකි. ඒ සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 4 කට වඩා වැඩිය. 

විශ්වයේ ඇති අඳුරු පදාර්ථ, අඳුරු ශක්තිය ආදී මෙතෙක් අපට අබිරහසක් වූ දේ, විසඳා ගැනීමට ‘නැන්සි ග්‍රේස් රෝමන්’ අභ්‍යවකාශ දුරේක්ෂය උදවු වනු ඇතැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ඊට අමතරව, සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති නව ග්‍රහලෝක සෙවීම ද මෙම දුරේක්ෂයට පවරා ඇති රාජකාරියකි. ඒ ඉදිරි වසර පහක කාලය පුරාවටය.

පෘථිවි කක්ෂයට යැවුණු දුරේක්ෂකය රොකට්ටුවෙන් මිදී, අභ්‍යවකාශ යානයක් සේ, අභ්‍යවකාශයේ ලග්‍රාන්ජ් ලක්ෂය නමින් හැදින්වෙන ස්ථානයට ගොස් එහි නතර වී, එතැන සිට විශ්වය අධ්‍යයනය සිදු කරයි. ලග්‍රාන්ජ් ලක්ෂය ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.6 ක් ඈතිනි. අභ්‍යවකාශ දුරේක්ෂ රැඳවීම සිදු කරන්නේ මෙම ලග්‍රාන්ජ් ලක්ෂයේය.

ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය යනු අභ්‍යවකාශයේ පවතින විශාල ආකාශ වස්තූන් දෙකක (උදාහරණයක් ලෙස සූර්යයා සහ පෘථිවිය) ගුරුත්වාකර්ෂණ බලයන් සහ කේන්ද්‍රාපසාරී බලය එකිනෙකට සමතුලිත වන විශේෂිත ස්ථානයයි. 
මෙහි ස්ථානගත කරන කුඩා අභ්‍යවකාශ යානයකට හෝ දුරනියප්‍රමාණයකට අමතර ඉන්ධන විශාල වශයෙන් වැය නොකර, එකී ආකාශ වස්තූන් දෙකට සාපේක්ෂව ස්ථාවර පිහිටීමක රැඳී සිටීමට හැකියාව ලැබේ. 

නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂය එම නමින් නම් කර ඇත්තේ, නාසා ආයතනයේ ප්‍රථම ප්‍රධාන තාරකා විද්‍යාඥවරිය මෙන්ම, අභ්‍යවකාශ දුරේක්ෂ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස ද සැලකෙන ආචාර්ය නැන්සි ග්‍රේස් රෝමන් ට ගෞරව කිරීම පිණිසයි.