(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම ප්‍රදේශයට අද පස්වරු පහයි තිහට පමණ හමාගිය සැඩ සුළඟක් හේතුවෙන් ගස් කඩා වැටීමෙන් මීරිගම පස්යාල මාර්ගය ඩී එස් හන්දියෙන් ද මීරිගම වේවැල්දෙණිය මාර්ගය අනුබද්ධ විද්‍යාලය අසලින් හා අමරතුංග මාවත ද සම්පූර්ණයෙන්ම වාහන ගමනා ගමනට අවහිර විය.

පස්යාල මීරිගම ප්‍රධාන මාර්ගයේ ඩී එස් සේනානායක ජාතික පාසල අසල මාර්ගය අයිනේ තිබූ සුවිශාල මාර ගස මාර්ගය හරහා කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් නගරය හරහා ගමන් ගන්නා වාහන ද විශේෂයෙන් අධිවේගී මාර්ගය දිගේ පැමිණ කොළඹ දෙසට ගමන් ගන්නා සියලු වාහන ද ගමනාගමනය අවහිර වී පැවතීනි.

වේවැල්දෙනිය මාර්ගයේ අනුබද්ධ විද්‍යාලය අසල කොස් ගසක් කඩාවැටීමෙන් කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී ඇති අතර අමරතුංග මාවතේ ලංකා බැංකුව ආසන්නයේ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයද අවහිර වීම හේතුවෙන් වේවැල්දෙණිය මාර්ගයට ප්‍රවිෂ්ට වීමේ සියලු පහසුකම් අහිමි වී තිබිණි .

ඩී එස් හන්දිය අසල දැවැන්ත මාර ගස කඩා වැටීම නිසා ප්‍රදේශයේ විදුලිය සැපයුමට ද දැඩි ලෙස බාධා පැමිණ තිබිණි . පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව අවහිරතා ඉවත් කිරීමට යුහුසුලු ව පියවර ගනිමින් තිබිණි.