(තිලකරත්න දිසානායක)

මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් මගින් නිෂ්පාදනය කරනු ලබන සහල් ඇසුරුම්වල කල් ඉකුත්වීමේ දින වෙනස් කරමින් විදේශයකට යැවීම සිදු කළ බව කියන රාගම ප්‍රදේශයේ ගබඩාවක් වටලා සහල් සහ එහි හිමිකරු අත් අඩංගුවට ගැනීමට අද රාගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.

ලද තොරතුරක් මත රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුලු මහජන පරීක්ෂක කණ්ඩායමක්  මෙම ගබඩාව වටලා පරීක්ෂා කළ අවස්ථාවේ එම සහල් ඇසුරුම්වල කල් ඉකුත්වීමේ දිනය වසරකින් ඉදිරි දිනයක් සේ සදහන් කොට ලේබලය වෙනස් කරමින් නවසීලන්තයේ සුපිරි වෙළෙඳසලට යැවීම පිනිස සකස් කරමින් තිබූ බව ප්‍රකාශයෙක් පැවසීය.

මෙහි තිබී මෙරට ප්‍රධාන සහල් නිෂ්පාදිත නාමය සහිතවම , අපනයනය කිරීමට සූදානම් කරමින් තිබූ කිලෝ ග්‍රෑම් පහක බරින් යුත් උර 199 ක් නිලධාරීන් බාරයට ගෙන ඇත.