(ඉන්දිකා  රාමනායක)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන   සිටින   මොහොමඩ් සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් 2018  වසරේදී මඩකලපුව කාත්තන්කුඩි  ප්‍රදේශයේ  ස්ථාන දෙකකට කාල බෝම්බ ප්‍රහාර දෙකකට සම්බන්ධ බවට හෙළිව ඇතැයි පොලිසිය කියයි.

2018.02.06 දින පල්ලිය පාරේ  නිවසකට හා සී බී   කාසින් පටුමගේ   ස්ථාපිත    කර තිබු     යහපාලනය සදහා  වු  ජාතික  පෙරමුණු  පක්ෂ  කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාර 2 ක් පුපුරාවා හැර ඇති  බවත්,  එම පිපිරවීමේ  සිද්ධියන් ද  පාස්කු ප්‍රහාර මාලාවේ බෝම්බකරුවන් වන සහරාන් හසීම්  කණ්ඩායමේ අනුගාමිකයන්  විසින් සිදුකර ඇති බවට සිද්ධියෙන් වසර 3 ට පසු   කරුණු අනාවරණය වී ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ   නිහාල් තල්දූව මහතා පවසයි.

කාන්තන්කුඩි     බෝම්බ ප්‍රහාර දෙකේ කොටස්   හා   පාස්කු බෝම්බ  ප්‍රහාර මාලාවේ   නඩු භාණ්ඩ වශයෙන් ලබා ගත්   කොටස් හා  සැසදෙන බවට ද රජයේ රස පරීක්ෂකවරයා විසින් තහවුරු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. 

කාතන්කුඩි බෝම්බ ප්‍රහාර දෙකේ   සැකකරුවන් වසර තුනකට   පසුව අනාවරණය කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් ඊයේ (2)    මඩකලපුව  මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  කියා සිටියේය.