(ඩයනා උදයංගනී)-

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා (23) පැවැත්වෙන සර්වපාක්‍ෂික සමුළුව ප්‍රෝඩාවක් බවත්, ඒ රැවටීමට සම්මාදම්වීමට නොහැකි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය.

ජනාධිපතිවරයා ජාතිය අමතා කිව යුත්තේ පවතින අර්බුදය හා එයට විසඳුම කුමක්ද? ගැටලුව විසඳීමට කොපමණ කල් ගතවේද? යන්න හා ‘එතෙක් ඉවසා සිටිමු අපිත් කැපකිරීම් කරනවා.

ඔබත් කරන්න’ යන ඉල්ලීම බවත්, මේ දක්වා ආණ්ඩුව ජනතාවට මෙම අර්බුදයෙන් ගොඩයන ආකාරයක් කියා නැති බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය

පවතින අර්බුදයට විසඳුම් සෙවීම ගැන මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ හෝ සන්ධාන නායකයන් අතර සංවාදයක් ඇතිවී නැතැයි කී මන්ත්‍රීවරයා සර්ව පාක්‍ෂික සමුළුව කැඳවිය යුත්තේ නිසි යෝජනාවලියක් සකසා ඇමති මණ්ඩල අනුමැතිය ඇතිව ආණ්ඩුවේ නිල වැඩපිළිවෙලක් බවට පත්කරගැනීමෙන් පසුව බව ද කීවේය.

කෙසේ වුවත් මෙය කැඳවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් අනුව නිසා සන්ධානය තුළ බිඳීමක් ඇති නොවන ලෙස ආණ්ඩවේ හවුල්කාර පක්‍ෂ 10ක් නියෝජනය කරමින් පක්‍ෂ නායකයන් දෙදෙනකු පමණක් ඊට සහභාගී කරවීමට තීරණය කළ බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ඒ අනුව ලංකා සමසමාජ පක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාත්, විජයධරණි ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියනුත් පමණක් ඒ සඳහා සහභාගී වන බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.