(අංජුල මහික වීරරත්න)

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව හේතුවෙන් සමාජයේ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන පරිදි ජීවත් විය හැකි පරිසරය සැකසීම සහ ඔවුන්ගේ මානසික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වන ජාතිවාදී ධාරාවන්ගේ සහ අභ්‍යන්තර ගැටුම්වල ස්වභාවය නිවැරදිව වටහාගෙන, නැවත ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සියලුදෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සමග හමුවකට අද (10) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමක් ඇති වීමට ඉඩ නොතැබු බව සඳහන් කළ ජනාධිපතිවරයා වංචා දූෂණ සම්බන්ධයෙන් හෝ නීතියේ විධානයේ ආධිපත්‍ය සම්බන්ධයෙන් වත්මන් රජයට කිසිදු චෝදනාවක් එල්ල කිරීමට නොහැකි වී ඇති බැවින්, ඇතැම් කණ්ඩායම් ජාතිවාදය පදනම් කර ගනිමින් ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් සිටින බවද පෙන්වා දුන්නේය.

මුස්ලිම් ප්‍රජාව පසුගිය කාලයේ මුහුණ දුන් ගැටලු කිහිපයක් පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර, නිල ඇඳුම් ගැටලුව වැනි තාක්ෂණික හෝ පරිපාලනමය කරුණු මුල් කරගනිමින් සමාජය තුළ ජාතිවාදී හෝ ආගමික නොසන්සුන්තාවන් යළි හිස එසවීමේ තත්ත්වයන් නිසි ලෙස අවබෝධ කර ගනිමින් එම ගැටලු විසඳා ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පාලකයන්ගේ ක්‍රියාකලාපයන් සහ තීරණ ප්‍රශ්න කිරීමට, ජනතාවට ඇති පූර්ණ අයිතිය වත්මන් රජය පිළිගන්නා බවත්, එසේ වුවද, ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කිරීමට හෝ සමාජය තුළ වෛරය වැපිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී අදහස් දක්වමින් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයන් කීවේ රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ යුතු බවයි.

විශේෂයෙන් තරුණ පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදා ගැනීමට ක්‍රියාත්මක “රටම එකට” ජාතික වැඩසටහන සහ දූෂණය පිටුදැකීමේ වැඩපිළිවෙළ මෙහිදී ඇගයීමට ලක් විය.