(අංජුල මහික වීරරත්න)

හොර තරාදි භාවිත කරමින් ගොවි ජනතාව සූරා කෑම වළක්වාලීම සඳහා වහාම කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ කිරුම් මිණුම් සඳහා භාවිතා කරන බොහෝ තරාදි නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා ගොවි ජනතාවගේ නිෂ්පාදන මිල දී ගැනීමේ දී ඔවුන් සූරා කෑමේ වැඩ පිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

බුලත්සිංහල ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයකින් ලබා දුන් යුරියා පොහොර මල්ලක නිසි බරට පොහොර නොතිබුනු බවට ගොවීන් චෝදනා කිරීම නිසා පොලිසිය මැදිහත්ව විද්‍යුත්  බිම් තරාදියකින් කිරා බැලුවිට නිසි බරින් අවශ්‍ය පොහොර ප්‍රමාණය තිබූ බවට වාර්තා වී තිබූ බව ද අමාත්‍යවරයා කීය.