(සුජිත් හේවාජුලිගේ )

සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ අරමුදල් පිළිබඳ තොරතුරු වාර්තා විගණනයට ඉදිරිපත් කිරීම කාලයක් තිස්සේ පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

සමෘද්ධි සංවර්ධන අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ උඩරට සංවර්ධන අධිකාරියේ නිශ්චල චංචල දේපළ සමෘද්ධි දෙපාර්තමේන්තුවට පවරාගෙන එම අරමුදල් වල ශේෂයන්ද ක්ෂුද්‍ර මූල්‍ය අංශය යටතේ රඳවා ගෙන සිටින බව විගණන වාර්තාව සඳහන් කරයි.

මේ අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 13ක් ගත වී ඇතත් ඒකාබද්ධ අරමුදලේ මුදල් මාරු කිරීම් පිළිබඳ ප්‍රමාණවත් තොරතුරුද විගණනයට ඉදිරිපත් කර නැතැයි විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව සමෘද්ධි දෙපාර්තමේන්තුවේ රාජ්‍ය මුදල් අවභාවිතාවක්වී ඇත්දැයි සොයා ගත නොහැකිව ඇතැයි විගණන අංශ පවසයි.

තවද මෙම මුදල් රාජ්‍ය මූල්‍ය පාලනයෙන් බැහැර වී තිබූ බවද විගණන වාර්තාව සඳහන් කරයි.

මේ අතර කිසියම් අරමුදලක වාර්ෂික අයවැය ලේඛන භාණ්ඩාගාරයෙන් අනුමත කරගත යුතු වූවත් සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ වන බැංකු මූල්‍ය අංශය සතු අරමුදල් කිසිදු අනුමැතියකින් තොරව ඇස්තමේන්තු සකසා වියදම් කර ඇතැයි පෙන්වා දෙන විගණන වාර්තාව අනුමැතියක් නැතිව කර ඇති වියදම් කිසිවක් නිත්‍යානුකූල නැතැයිද පෙන්වා දෙයි.