(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
විජලිත හා මන්දපෝෂණය සමග ඇති වූ ඇදුම රෝගය උත්සන්න වීමෙන් මියගිය 75 හැවිරිදි සැමියාගේ අවසන් කටයුතු කිරීමට ඔහුගේ බිරියට මුදල් නොමැති වීමෙන් දින 11ක් මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිරුරක් අද (17) කිහිපදෙනකුගේ මුදල් එකතුකොට මාතර සුසාන භූමියේදී සිදු කෙරිණි.
දික්වැල්ල බතීගම මහගෙදර වත්තේ පදිංචිව සිටි පුස්සල හේවගේ වීරසේන (75) නමැති අයකු මෙසේ මියගොස් තිබුණි. ඔහු පොල් කැඩීම ජීවිකාව බවට පත් කරගත් අයෙකි.
ඔහුගේ හදිසි මරණ පරීක්ෂණයේදී බිරිය වන නාඋරුන්නගේ සෝමාවතී (77) මහත්මිය කියා තිබුණේ, තමා හා සැමියාට ආහාරපාන ලබාදෙන්නේ අසල්වැසියන් බවත්, සැමියා හතිය උත්සන්න වී බත්ගම රජයේ රෝහලෙන් මාතර මහ රෝහලට මාරු කර එවා තිබූ පසු තමා ඔහු බැලීමට ඒමට නොහැකි වූයේ අසනීප තත්ත්වය හා අතේ මුදල් නොමැති වීම නිසාවෙන් බවය.
එම නිසා සැමියාගේ අවසන් කටයුතු සිදු කිරීමට තමාට මුදල් නොමැති නිසා රජයේ වියදමින් එම කටයුතු සිදු කර දෙන ලෙසට ඇය හදිසි මරණ පරීක්ෂණයේදී ඉල්ලා සිටියාය.
තමන්ට දරුවන් නොමැති බව ද සැමියා සමග ජීවත් වන්නේ ද පොල් වත්තේ හිමිකරු ලබාදී ඇති කුඩා නිවසක බව ද ඇය කීවාය.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.ඩී. සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ වම් පෙණහැල්ලේ නියුමෝනියාව සමග ඇති වූ ඇදුම රෝගය උත්සන්න වීමෙන් මරණය සිදුවී ඇති බවයි.
විජලිත හා මන්දපෝෂිත තත්ත්වය ද ඊට හේතු වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් කර තිබුණි.
මියගිය පුද්ගලයාගේ බිරියගේ ඉල්ලීම පරිදි රජයේ වියදමින් සිරුර භූමදානය කළ හැකි දැයි සොයා බැලීමට බතීගම නැගෙනහිර ග්‍රාම නිලධාරිනී නිශාදි රේෂනී මත්මිය මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක උසාවියට කැඳවීමට මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී.එම්. ලලිත් ද සිල්වා මහතා අද (17) කටයුතු කළේය.
මියගිය පුද්ගලයාගේ බිරිය සිටින බැවින් රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කිරීමට මෘත ශරීරය තමාට බාරගත නොහැකි බව ග්‍රාම නිලධාරිනිය එහිදී දැනුම් දුන්නාය.
මේ නිසා කිසිත් කරකියා ගත නොහැකිව මියගිය පුද්ගලයාගේ බිරිය අසරණ වූවාය.
සිරුර භූමදානය කිරීමට මාතර මහ නගර සභාවට රුපියල් 3500ක මුදලක් ද, එය රැගෙන ගොස් මිහිදන් කිරීමට මල්ශාලාවට තවත් රුපියල් 11000ක් ද ඉල්ලා තිබුණි.
මියගිය පුද්ගලයාගේ බිරියගේ සමෘද්ධි ගිණුම් පොතේ රුපියල් 6000ක් ඉතිරි වී තිබූ අතර, එය රැගෙන ඒමට ඥාතියෙක් පිටත්ව ගියේය.
එම අවස්ථාවේදී මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී.එම්. ලලිත් ද සිල්වා මහතා තම අතේ තිබූ රුපියල් 1000ක් ද මෙම සිද්ධිය ආවරණය කිරීමට ගිය වාර්තාකරු රුපියල් 2000ක් ද තවත් එතැන සිටි කිහිප දෙනකු ද මුදල් එකතු කර ඉතිරි මුදල සොයා ගන්නා ලදී.
මේ පිළිබඳව දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතාගෙන් විමසූ විට කියා සිටියේ, රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කළ හැක්කේ කාත් කවුරුවත් නැති අයකුගේ පමණක් බවය. බිරිය ජීවතුන් අතර සිටින නිසා ග්‍රාම නිලධාරිනියට සිරුර බාරගෙන රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කළ නොහැකි බවත්, ගමත් සමග එකතු වී එම කටයුතු සිදු කරන බවත් ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාන්තාවට උදව් කල සියල්ලටම පින්.
සැමියා මියගියත් බිරිඳ ඉන්නවා කියලා අවුරුදු 77ක අසරණ කාන්තාවක් සිටින නිසා රජයේ වියදමින් කරන්න බැහැ කියලා ග්‍රාම නිළධාරිනී කියලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් ඒක අනුමත කරල තියෙනවා ඇත්තටම නිළධාරින්ට මොළයක් කියලා එකක් නැද්ද පොතේ කොහොම තිබුනත් මොළයක් තියෙන එකෙකුට මියගිය පුද්ගලයාගේ මෙහෙම අසරණව සිටින බිරිඳ පීඩාවට පත්නොකර මේක රජයේ වියදමින් කරන්න තිබුනා කියලා රජයේ විශ්‍රාමිකයෙක් හැටියට කියන්න පුළුවන් ඇත්තටම එම කාන්තාව අනුන්ගේ පැලක සිටින අනුන්දෙන දෙයකින් යැපෙන කෙනෙක් .මෙහිදී තීරණ ගැනීමේ දුර්වලතාවක් සමග කාන්තාවන් ග්‍රාම නිළධාරින් කිරීමේ වරදත් පැහැදිලි වෙනවා ඒ වගේම විගණන විමසුම් සදහා පිළිතුරක් දීමට බලධාරීන්ට තිබෙන බිය හා නොහැකියාවත් හොදින්ම පැහැදිලි වෙනවා
අගය කල යුතු ක්‍රියාවක් .මෙවැනි තත්වයන්ට මුහුණ දුන්නු මුහුණ දෙන තවත් කොපමණ අය මේ රටේ සිටිනවා ඇතිද ?එවැනි මරණ සම්බන්ධව ක්‍රියා කල හැකි සංවිධාන පළාත් හෝ ප්‍රාදේශීය මට්ටමින් බිහිවෙනවා නම් කොච්චර හොඳ දෙයක්ද?
"මේ පිළිබඳව දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතාගෙන් විමසූ විට කියා සිටියේ, රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කළ හැක්කේ කාත් කවුරුවත් නැති අයකුගේ පමණක් බවය. බිරිය ජීවතුන් අතර සිටින නිසා ග්‍රාම නිලධාරිනියට සිරුර බාරගෙන රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කළ නොහැකි බවත්, ගමත් සමග එකතු වී එම කටයුතු සිදු කරන බවත් ඔහු කීය". නව නීති සකස් විය යුත්තේ මේ වගේ දේවල් වලට තමයි. රටේ පාලකයෝ සහ නිළධාරීන් තමන්ගේ වගකීම සහ යුතුකම හරියට කරලා තිබුනා නම් ජනතාව මේ වගේ අසරණ තත්වයකට පත්වෙන්නේ නෑ.
AI වලින් තමයි දැන් මහ එකා වැඩකරන්න හද්නේ. අහිසංක මිනිස්සුන්ට මිනිය වලදගන්නවත් බැ. දරැවන්ට මන්දපෝෂනේ . ඔන්න මේ රටේ මහපෙලව තත්වෙ
අම්ම ගන හරිම දුකයි..සැප දුක කියන ඒක නීතිය දන්න. ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික විය යුතුයි........ පුලුවන්නම් අම්මගෙ ෆෝන් නො 1 මට ඊමෙල් කරන්න.
ගරු රාජපක්ෂ පවුලේ සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා.බුදුසරණයි
අද රට මේ තත්වයට පත්කරපු දේශපාලකයන්ට නම් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ .ඉස්සරනම් මිනිස්සුන්ට මෙහෙම හිඟා කන්න සිද්ද උනේ නැහැ