(තිලකරත්න දිසානායක, පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ එල්.ආරියරත්න)

පළාත් පාලන ආයතනයන්හි සභිකයින් අඩු කිරීම පිනිස සීමා නිර්ණ කමිටුවක් පත් කර තිබෙනවා. නමුත් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට සීමා නිර්ණ කමිටුව යොදාගත නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සදහන් කළේය.

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියා මාර්ග ජනගත කිරීමේ සංවාද මාලාවෙහි දිස්ත්‍රික් මට්ටමේ 24 වැන්න ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් පැවති අවස්ථාවේදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

2017 වසරේදී පළාත් පාලන ආයතනවල සභිකයින් සියයට 40 කින් වැඩි කිරීම කිසිදු තේරුමක් නැති බව සදහන් කළ සභාපතිවරයා , මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු පැහැදීමක් නැති බවද කීය.

සීමා නිර්මාණය හේතුවෙන් ඡන්දය ප්‍රමාද කිරීමට කොමිෂන් සභාව එකග නොමැති සේම ජනතා නියෝජිතයන් වෙනුවට පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම පිනිස නිලධාරීන්ට බලය ලබාදීමටද එකග නොවන බවත් නිමල් පුංචිහේවා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.