(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ටීටෙන් ග්ලෝබල් ස්පෝට්ස් ආයතනය එක්ව පළමු වරට සංවිධානය කරන ‘ලංකා ටී10’ පිරිමි සහ කාන්තා තරගාවලිය ලබන වසරේ ජූනි මස පැවැත්වේ. මෙම ‘ලංකා ටී10’ තරගාවලියේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි රටක් සංවිධානය කරන පළමු ටී10 තරගාවලිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ලොව පුරා ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වන මෙම තරගාවලියට පිරිමි කණ්ඩායම් 6 ක් සහ කාන්තා කණ්ඩායම් 4 ක් සහභාගි වන බවත් තරගාවලිය දින 12 ක් පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ ආකාරයටම ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල නම් භාවිතා කරමින් කණ්ඩායම් නම් කරන බව කී ශම්මි සිල්වා මහතා පල්ළෙකැලේ සහ හම්බන්තොට යන ක්‍රීඩාංගණවල ද තරග පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහූ කොළඹදී අද (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ‘ලංකා ටී10’ තරගාවලිය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ටීටෙන් ග්ලෝබල් ස්පෝට්ස් ආයතනයේ සභාපති ශාජු උල් මුල්ක් සහ එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජිව් කන්නා යන මහත්වරු ද සහභාගි වූහ.