(ඩයනා උදයංගනී)
දුම්රිය කිහිපයක් හැර සෙසු සියලු දුම්රිය ලබන සඳුදා (8) සිට සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වානිජ) වී.එස් පොල්වත්තගේ මහතා පැවසීය.
මේ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණිකේ, ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන වායුසමනය කළ සීඝ්‍රගාමී දුම්රිය, කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා ධාවනය වන පුලතිසි ඇතුළු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය කිහිපයක් හැර සෙසු සියලුම කාර්යාලීය, දුරගමන් සේවා, රාත්‍රී තැපැල් දුම්රිය, නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් සියල්ල පෙර පරිදිම ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේය.
කොවිඞ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව දුම්රිය ධාවනය කරවීමට පියවර ගෙන ඇති බවත් එම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පොල්වත්තගේ මහතා සඳහන් කළේය.
දුම්රියවල ආසන සංඛ්‍යාව අනුව මගීන් ප්‍රවාහනය කරන ලෙසත්, මගීන් සිටගෙන ගමන් නොකළ යුතු බවත් සෞඛ්‍ය අංශ හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය උපදෙස් දී ඇතැයි කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එබැවින් අත්‍යාවශ්‍යම ගමන් බිමන් සඳහා පමණක් දුම්රිය භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.
සාමාන්‍යයෙන් දිනකට මගීන් 147,000ක් පමණ දුම්රියවල ගමන් කරන අතර ආසන ප්‍රමාණයට ගමන් කරන්නේ නම් රැගෙන යා හැක්කේ මගීන් 25,000ත්, 30,000ත් අතර ප්‍රමාණයක් පමණක් බව ද පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේය.
දුම්රිය ආසන කලින් වෙන්කරවා ගැනීමේ පහසුකම ද තව දුරටත් ක්‍රියාත්මක බව කී දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට කාර්යාල හරහා මේ සඳහා ලියාපදිංචි විය හැකි බව ද පැවසීය.
පැමිණෙන මගීන්ගේ පහසුව වෙනුවෙන් දුම්රිය ධාවනයේ වෙනස්කමක් සිදුකර වාර කිහිපයක් හෝ වැඩිපුර ධාවනය කරවීමට උත්සාහ ගන්නා බව ද කී පොල්වත්තගේ මහතා එබැවින් දුම්රිය කාලසටහන ගැන සැලකිලිමත් වන්නැයි ජනතාවට දැනුම් දෙන බව ද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලොකු අවුලක් ඇති කරවනවා. මගීන් 147000ක් යන දුම්රියන්ට මගීන් 30000ක් පමණක් ආසන ගණනට රැගෙන යනවිට මොනතරම් ගැටළු වලට ජනතාව මුහුනදේවිද? දුම්රියස්ථාන වල ගැටුම් පවා සිද්ධ වෙන්න පුළුවන් නිසැකවම... ආයතන බොහෝ ප්‍රමාණයක් තියෙනවා ඔය කියන විදිහට තමන්ගේ සේවකයින් සදහා ආසන වෙන් නොකලත්, සේවකයින්ට රාජකාරියට ඒමට බල කරන. ඒ නිසා ආයතනයේ ලිපියක් ගෙනවිත් දුම්රිය ස්ථානයෙන් ලියාපදිංචිය සිද්ධ කර ඒ ඒ සේවකයින්ට මාස්පතා හෝ සතිපතා නියමිත දුම්රිය අංක සහ වේලාවන් දුන්නානම් කෙතරම්නම් පහසුයිද? හැකිතාක් ජනතාව රස්තියාදු කරන එක අවම කරන ක්‍රමයකට යා යුතුයි.
දිනකට මගීන් 147,000 දුම්රියේ ගමන් කරන්නේ තමන්ගේ එදිනෙදා රාජකාරි වලට යන්නයි. ඔවුනට වෙන විකල්පයක් තියනවානම් 30,000 ක ආසන ඇති දුම්රිය වල ඒ වගේ පස් ගුණයක මගියන් හිරවී තෙරපී යන්නේ නැහැ. ආසන ගනනට මගීන් 30,000 ගෙන ගියොත් ඉතිරි 117,000 රැකියාවට යන්නේ කොහොමද ? බස් රථ වලත් ආසන ගනනට මගීන් රැගෙන යන නිසා මේ වගේ කිහිප ගුණයක මගීන් මහා මාර්ග වලත් අතරමං වෙන එක වළක්වන්නේ කොහොමද කියලා මට නම් හිතාගන්න බැහැ.
රට රවටන සුරංගනා කතා නවතා මඟී ජනතාව මුහුණ දෙන ප්‍රායෝගික ගැටළු ගැන කතාකරන්න. වෙනදා දුම්රියේ තද බදවී යන ජනයා ගැන බලධාරීන් මුනිවත රැක්කා. කොරෝනා නිසා තත්ත්වය මෙසේ වුණා. කොළඹ කොටුවෙන් දෙවෙනි පන්තියේ ටිකට් පතක් ගෙන මාතර තෙක්ම මා හිටගෙන ගිය අවස්ථා බොහෝයි. එවන් අවස්ථාවල ඇතිවන ශාරීරික පීඩාව නිසා බලධාරීන් ගේ මව්වරුන් ගේ ගුණ ගායනාව අප සිතින් සිදුවුණා. එදා සිටි මගීන් අඩුවුණේ නැහැ. ඒත්, දුම්රිය ඒ වෙනුවෙන් වැඩිපුර යොදවලත් නැහැ. ඒ වුනාට දුරස්ථ භාවය ගැන මගීන්ට උපරිම උපදෙස්. මේ ප්‍රශ්ණය සඟවන්නේ නැතිව මගීන්ට වාඩිවී යාමට වැඩිපුර දුම්රිය යොදවන්න. මිනිස්සු පිනට යනවා.... නොවෙයි.දේශපාලකයන්ගේ සුපිරි වාහන නොමිලයේ. මගීන්ට මුදල් ගෙවා සීට් එකක් ගන්න ලියාපදිංචි වෙන්න වෙලා.වැඩිපුර දුම්රිය ආනයනය කරන්න.වරද තියෙන්නේ මගීන් අත නොව බලධාරීන් අතේය.මෝඩ පරිපාලනය අතේය.
ජනතාවට විකල්ප දෙන්නේ නැතුව නීති පනවන්න එපා... එහෙම කලහම වෙන්නේ මිනිස්සු නිකරුනේ තද බද වෙලා , කොරෝන බෝවීම පහසු වෙන එක... කාර්යාල තද බද වෙලාවට ගමන් කරන දුම්රිය ප්‍රමාණය වැඩි කරන්න. එහෙම නොමැතිනම්, ගාල්ල, මාතර වැනි දුර බැහැර ඉඳන් සේවයට එන රජයේ සේවකයන්ට එම දෙපාර්තමේන්තුවල එම පළාත්වල තිබෙන කාර්යාල වලට සේවයට වාර්තා කරන්න කියන්න. එම පළාත්වලින් කොළඹ රජයේ කාර්යාලවලින් වැඩ කරගන්නත් එන්න මිනිස්සුන්ගේ වැඩ එම පළාත්වලින්ම ඉටු කරලා දෙන්න...