(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් රෝගීන් සමඟ ගැටෙන සෞඛ්‍ය අංශ සේවකයන් ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයන්ට තුන්වෙනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදීම හෙට (01) සිට ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පළමුවෙන්ම එන්නත හිමිවන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ටය. එලෙස ඔවුනට ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා ගෙන මාස 6ක් ගතවූ පසු බූස්ටර් එන්නත ලබා දෙන බවත් මුලින්ම එන්නත ලැබෙන්නේ රෝගීන් සමග ඉදිරිපෙළ ගැටෙන සෞඛ්‍ය අංශ සේවකයන්ට , ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට බවත් ඔහු කීවේය.

ගුවන්තොටුපොළ , වරාය සංචාරක යනාදී ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ඉන්පසු එන්නත ලබා දෙන බව පැවසූ ඒ මහතා ඉන්පසු මෙරට වයස 60ට වැඩි පුද්ගලයන්ට බූස්ටර් එන්නත ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

ඉන්පසු වයස තිහත් හැටත් අතර විවිධ රෝගාබාධ ඇති අයටද ඊට පසු අවුරුදු 20ට අඩු සියලුම දෙනාටද බූස්ටර් එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ දක්වා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව එක් කෝටි තිස් හතර ලක්ෂ හැට දහසකි. එය මෙරට ජනගහණයෙන් සියයට 62.5 ක ප්‍රතිසතයකි.