(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ප්‍රමාදවීම නිසා  සෞඛ්‍ය  අමාත්‍යාංශය  අමතර ගොඩනැගිලි කුලියට ගැනීම සඳහා 2017 සිට 2020 වසර දක්වා  වර්ෂ හතරේදී රුපියල් කෝටි 45 කට වැඩි මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව ) දැඩි සාකච්ඡාවට  භාජනවී ඇත.

අමාත්‍යාංශය සඳහා  නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය  රුපියල් කෝටි 396 කට වැඩි  බදු සහිත කොන්ත්‍රාක් වටිනාකමකට මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයට 2014 වර්ෂයේ  ඔක්තෝබර් මස ප්‍රදානය කර තිබිණ.එහෙත් මෙම  ව්‍යාපෘතිය 2021 මාර්තු මස 31 වැනිදා වනවිටත්  නිම කර නොතිබූ බව කෝපා කමිටුව  පවසයි.

මෙම ව්‍යාපෘතිය සිදුකරගෙන යද්දී  භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම ප්‍රමාද වූ බවත් ඒ සඳහා මෙම වර්ෂයේදී මුදල් ලැබීම නිසා එම  ව්‍යාපෘතිය යළි ආරම්භ කළ හැකි බවත් අමාත්‍යාංශ ප්‍රධානීහු එම  කමිටුව හමුවේ පැවසූහ.