(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

වකුගඩු ජාවාරම් සිදුකිරීමේ චෝදනාව මත දැනට වකුගඩු ශල්‍යකර්ම සිදුකිරීම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා අත් හිටුවා ඇති මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතාට අයත් පෞද්ගලික රෝහලක සිටින වකුගඩු බද්ධ කිරීමට නියමිත රෝගීන් දෙදෙනා වහාම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා බාරයට නිකුත් කර ඒ පිළිබඳ ඉදිරි පියවර ගන්න ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

අධිකරණය මෙසේ නියෝග කළේ මහචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා ගොනුකර තිබූ පෙත්සම සළකා බැලීමෙන් පසුවය.

මෙම රිට් පෙත්සම සම්බන්ධව ලබන වසරේ ජනවාරි 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියෝග කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට නොතීසි නිකුත් කළේය.

වකුගඩු ජාවාරම සිදු කිරීමේ චෝදනාව මත තමන්ට අයත් පෞද්ගලික රෝහලෙහි වකුගඩු ශල්‍යකර්ම සිදුකිරීම අත් හිටුවමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලා මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.