(නිමන්ති රණසිංහ)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයාට අද (21) නියෝග කළාය.

බොරැල්ල පොලිසිය මගින් අධිකරණයට වාර්තා කර තිබූ මෙම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන භාරගැනීමෙන් පසු පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යනු ලබන බවත් ඒ හේතුවෙන් මෙහි ඉදිරි විමර්ශන එම දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසත් බොරැල්ල පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් ලබාගත් ප්‍රකාශ මෙන්ම දුරකථන විශ්ලේෂණ වාර්තා අඩංගු ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලබන බව ද බොරැල්ල පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයාට නියෝග කළාය.