(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සිසිටිවි කැමරා 42 ක පමණ දර්ශන පරික්ෂා කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඒ මහතා පදිංචිව සිටි කුරුඳුවත්ත මල් පාර නිවස අසල සිට බොරැල්ල සුසාන භූමිය භූමියේ දක්වා දිවෙන මාර්ගයේ සිසිටිවි කැමරා එලෙස පරික්ෂා කර ඇත.

ඝාතනයට ලක්වූ දිනේශ් ශාෆ්නර් මහතාගේ ජංගම දුරකථනය මෙන්ම ඊට අදාළ විමර්ශන සිදුකරන තවත් ජංගම දුරකථන කීපයක විශ්ලේෂණ වාර්තා ඔස්සේ ද විමර්ශන සිදු කිරීම ආරම්භ කර ඇති බව එම නිලධාරියා කීය.

ඝාතනයට ලක්වූ සභාපති වරයා (model farm) මොඩල් ෆාම් ප්‍රදේශයේදී විධායක නිලධාරියාගේ ජංගම දුරකථනයට (tower location) ටවර් ලොකේශන් දමා ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්වූ දිනේෂ් ශාෆ්ටර් ඝාතනය සිදුවූ දින රාත්‍රී 8.15 ට පමණ ඔහුගේ බිරිඳ සමග එංගලන්තය බලා යාමට සියලු කටයුතු සූදානම් කර තිබී ඇතැයි ද ඒ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත සවස 4 පමණ වන විට යාමට තිබෙන බැවින් බිරිඳ ඔහුට වරින් වර ඇමතුම් ලබා ගෙන ඇතැයි ද සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

සභාපතිවරයාගේ අභිරහස් ඝාතනය ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙන අතර බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ද පරීක්ෂණ පවත්වති.