(මනෝප්‍රිය ගුණසේකර)

මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබියදී අරගල සමයේදී විනාශ කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්‍ෂ 88 කට අධික වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් 28 පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා තීරණය කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හානි පූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස කටයුතු කළ සේපාලිකා සමන් කුමාරි මහත්මිය සහ කීර්ති බණ්ඩාර කොටගම මහතායි.

2023 නොවැම්බර් 27 වැනිදාත් 2024 මැයි 29 වැනිදාත් අතර කාලය තුළ මහවැලි අධිකාරියට අයත් සෙවණගල පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබියදී පසුගිය අරගල සමයේ විනාශයට පත්කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර රුපියල් 88,50,000/-ක වන්දියක් ගබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.