(රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය ප්‍රදේශයට පසුගිය දා  ඇදහැලුණු ධාරානිපාත වතාවත් සමග නාවලපිටියේ සිට ඉඟුරුඔය නවගම්මානය දක්වා දිවෙන මාර්ගයේ හගරන්ඔය හරහා වැටී තිබූ කොන්ක්‍රීට් පාලම ජල පහරට අසුව ඉවුරු කඩා ඔයට වැටි විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

එම ගම්මානයේ පවුල් 350ක ජනතාව ඉන් පිටතට පැමිණීමට නොහැකිව අසීරුතාවයට පත්ව තිබෙන බවත්, මේ හේතුවෙන් පාලමෙන් මෙගොඩට පැමිණ ජනතාව තම දෛනික කටයුතු සිදු කරගෙන යෑමට මෙන්ම පාසල් සිසුන්ට තම පාසල් වෙත යෑමට නොහැකි වී තිබෙන බව ප්‍රදේශවාසීහු කියා සිටිති.

මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වන සිසු දරුවන්ට තම විභාග මධ්‍යස්ථාන කරා යෑමට නිසි ක්‍රමවේදයක් නොමැති බවත් ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර ග්‍රාම නිලධාරී හරහා සහතික කර ගැනීම පවා අසීරු කටයුත්තක් වී ඇති බවත්, තමන් පත්ව ඇති අසීරුතාවය පිළිබඳ හානියට පත් වූ පාලමේ ගං එවුරට පැමිණ එම ප්‍රදේශවාසීන්  විරෝධතාවයක නියැලිණ.