(නිමන්ති රණසිංහ)

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක්  ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ  බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය සම්බන්ධ දෙවැනි නඩුවේ විභාගය ලබන පෙබරවාරි මස 24 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (18) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ 10 වන සාක්ෂිකරු වන හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතාට ලබන පෙබරවාරි මස 24 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළේය.

චූදිතට එරෙහිව අධිකරණය හමුවේ විභාග වූ මෙවැනි ම අනෙක් නඩුව සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මිය වරදකරු වීමෙන් පසු වසර දෙකක අනිවාර්ය සිර දඬුවමක් අධිකරණයෙන් නියම වූයේ ඉකුත් මැයි මස 27 වැනිදා ය.

එම සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම් මාස හයක 6 ක සිර දඬුවමක් ද නියම කළේය.

පසුව එම නියෝගයට එරෙහිව වීරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට ඇප මත නිදහස්ව සිටින්නීය.