(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකන් ගුවන්  සේවය, ශ්‍රී ලංකන් කේටරින් ආයතනය  සහ භූමි සේවා සැපයුම්  අංශය (Ground handling) යන අංශයන්හි පරිපාලනය කිසියම් හෝ ආයෝජකයකුට එකට දෙනවාද නැතහොත් වෙන වෙනම දෙනවාද යන්න ගැන ළඟදීම අවසන් තීරණයක් ගන්නා බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් මේ දිනවල විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.

එම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය  සඳහා මහා භාණ්ඩාගාරයේ කමිටුවක්  මග පෙන්වීම් ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය   ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන්  අවසාන තීරණය ගනු ඇතැයිද  ප්‍රකාශ කළේය.

මෙම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ගන්නාවූ තීරණ  තමා පළමුවෙන්ම පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවද  නිමල් සිරිපාල ද සිල්වා මහතා  අවධාරණය කළේය.

විශාල මුදල් කන්දරාවක් කාබාසිනියා කරන ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හැරෙන්නට වෙනත් කිසිම විකල්පයක් නැතැයි පැවසූ අමාත්‍යවරයා එම ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට විරුද්ධ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් කෝටි  සියයකට වැඩි මුදලක්  ණයවී  සිටින බවත් ගුවන් සේවය සතු සියලු යානා බද්දට ගත් ඒවා බවත්  ඔහු පෙන්වා දුන්නේය.

ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ ඒ කොටස්වලින්   සියයට 51 ක් රජය සතුව තබා ගෙන බවද හෙතෙම පැවැසුවේය.

මේ අතර එයාර් බස් සමාගම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විධායක නිලධාරියකුට  පගාවක්දී ඇතැයි අමාත්‍යවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වුණු බව  පැවසූ අමාත්‍යවරයා සිද්ධිය පිළිබඳව එයාර් බස් සමාගමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

නඩු පවරා වන්දියක්  අය කර ගැනීමට බලාපොරොත්තු වන බවත්  එම කටයුත්ත එංගලන්තයේ නීතිඥ  සමාගමකට පවරා ඇති බවත් හෙතෙම වැඩිදුරටත්  පැවසුවේය.