(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ )

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කොට ඇති බී වාර්තාව මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අද (10) ඉවත් විය.

මෙම පෙත්සම අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සැලකිල්ලට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කර සිටියේ මෙම පෙත්සම සළකා බැලීමෙන් තමන් ඉවත් වන බව ය.

ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම ලබන වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, එම දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂනී හේවාපතිරණ සහ එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික ද සිල්වා ඇතුළු 14 දෙනෙකි.

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම බී වාර්තාව සහ නිර්නාමික පෙත්සම පදනම් කර තමාට එරෙහිව රැඳවුම් නියෝග ලබා දීම වළක්වාලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, රුපියල් කෝටි දහයක 10 ක වන්දි මුදලක් තමාට ලබා දෙන ලෙසට නියෝග කරන ලෙසත් පෙත්සම්කාර ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.