(අංජුල මහික වීරරත්න)

විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා නොව, රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවේ අවධාරණය කළේය.

මෙම සංශෝධනය සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණයන්හි එක් පුරුකක් පමණක් බවත්, එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි මතයක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැති හමුවේදී ජනාධිපතිවරයා මේ බව කීය.

පැයකට ආසන්න කාලයක් සාර්ථකව පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමද සිදු කෙරිණි.

මෙහිදී ඉදිරිපත් කෙරුණු සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ රජයේ ස්ථාවරය සහ අධිකරණ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් රජය සැලසුම් කර තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරන ලදී.