(අංජුල මහික වීරරත්න)

විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ දොරටු සෑම විටම විවෘත බව අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මානව හිමිකම් සහ පරිසරය රකින වගකීම් සහගත ආයෝජන සඳහා රජය උපරිම සහයෝගය ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය. 

එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදය, සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව සංවිධානය කළ ආසියා-පැසිෆික් කලාපයේ තිරසර සංවර්ධන අරමුණු ඇතුළත් ආයෝජන සංසදයට කොළඹදී අද(12) සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය  මේ බව සඳහන් කළාය. 

"Forward Faster Now" යන තේමාවෙන් මෙම සංසදය පැවැත්විණි.

"තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගන්න රජයට විතරක් තනියම කටයුතු කරන්න බැහැ. ඒකට රාජ්‍ය, පෞද්ගලික වගේම සිවිල් සමාජයත් එකතු වෙන්නම ඕන. අද වෙනකොට සංවර්ධනය වෙමින් පවතින රටවල වාර්ෂික මූල්‍ය හිඟය ඩොලර් ට්‍රිලියන 2.5 ත් 4 ත් අතර ප්‍රමාණයක් වෙනවා. ආසියා-පැසිෆික් කලාපයේ විතරක් ඒ හිඟය ඩොලර් ට්‍රිලියන 1.5 ක්. ඒ විතරක් නෙමෙයි, 2030 වෙනකොට මේ කලාපයේ මැනිය හැකි තිරසාර සංවර්ධන ඉලක්කවලින් සියයට 88ක්ම අපිට මගහැරෙන්න ලොකු අවදානමක් තියෙනවා. ඒ නිසයි අපි මේ අරමුදල් ආයෝජනය කරන එක ඉක්මන් කරන්න ඕනේ යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.