(විමුක්ති එස්. රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු ලබාදී ඇති ණය සහ අත්තිකාරම් මුදලේ අගය පසුගිය වසර අවසානය වන විට රුපියල් ට්‍රිලියන 9.49ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එය 2024 වසරේ පැවැති රුපියල් ට්‍රිලියන 7.74ට සාපේක්ෂව රුපියල් ට්‍රිලියන 1.76ක පමණ වැඩිවීමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

එසේම හම්බන්තොට වාරය පසුගිය වසරේදී මෙහෙයවූ භාණ්ඩ ප්‍රමාණය 2024 ට සාපේක්ෂව සියයට 168 කින් ඉහළ ගොස් තිබෙන බවද මහ බැංකු වාර්තාවේ දැක්වේ. 2024 වසරේදී හම්බන්තොට වරායේ මෙහෙයවූ භාණ්ඩ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3.03ක් වූ අතර එය පසුගිය වසරේදී මෙට්‍රික් ටොන් මිලියන 8.12ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව වසරක් තුළ හම්බන්තොට වරායේ මෙහෙයවූ භාණ්ඩ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 5.093කින් වැඩි වී ඇති අතර එය සියයට 167.9ක පමණ වර්ධනයකි.

තවද 2024 වසරේදී හම්බන්තොට වරායට නෞකා 472ක් පැමිණ තිබූ අතර පසුගිය වසරේදී එම සංඛ්‍යාව 881ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය සියයට 86.7ක පමණ වර්ධනයකි.

මහ බැංකුව නිකුත් කළ 2026 සමාජ ආර්ථික දත්ත වාර්තාවට අනුව මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු ලබාදී ඇති ණය සහ අත්තිකාරම් මුදලේ ප්‍රමාණය පසුගිය වසර අවසාන වනවිට රුපියල් බිලියන 9,493.190ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් 2024 වසර අවසානය වනවිට බලපත්‍රලාභී වාණිජ බැංකු ලබාදී ඇති ණය සහ අත්තිකාරම් මුදලේ ප්‍රමාණය රුපියල් බිලියන 7,737.82ක් වූ බවත් එම වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු ලබාදී ඇති ණය සහ අත්තිකාරම් මුදලේ ප්‍රමාණය වසරක් තුළදී සියයට 22.7 කින් ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවේ දැක්වේ. වාණිජ බැංකු ලබාදී ඇති ණය සහ අත්තිකාරම් මුදලේ ප්‍රමාණය 2023 වසරේදී තැන්පතුවල වටිනාකමින් සියයට 62.8 ක් වූ බවත් එය 2024 වසරේදී සියයට 59 දක්වා පහළ වැටී තිබූ බවත් මහ බැංකුව නිකුත් කළ එම වාර්තාව පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් වාණිජ බැංකු ලබාදී ඇති ණය සහ අත්තිකාරම් මුදල නැවතත් පසුගිය වසරේදී තැන්පතුවල වටිනාකමින් සියයට 65 දක්වා ඉහළ ගොස් ඇතැයිද එම වාර්තාවේ දැක්වේ. ඒ අනුව බැංකු පද්ධතියට තැන්පතු ලෙස ඇතුළත් වී ණය බවට පරිවර්තනය වී ඇති කොටස 2024ට  සාපේක්ෂව පසුගිය වසරේදී පදනම් ලකුණු සියයට 6 කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව වාර්තාවේ සඳහන් වේ.

තවද 2024 වසරේදී රුපියල් ට්‍රිලියන 19.05ක් වූ මෙරට බැංකු වත්කම් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 21.41ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

ඒ අනුව වත්කම් අතර ආයෝජන ප්‍රමාණය 2024දී රුපියල් බිලියන 7,040.76ක් වූ අතර පසුගිය වසරේදී එය රුපියල් බිලියන 7,064.00ක් වී ඇත. වසරක් තුළ බැංකු ආයෝජනවල වටිනාකම ඉතා සුළු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර ණය ප්‍රමාණය ඊට සාපේක්ෂව විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මෙය බැංකු පද්ධතියේ වත්කම් සංයුතියේ වෙනසක් ලෙසද දැකිය හැකිය.

මෙරට බැංකුවල ණය ප්‍රමාණය 2024 වසරේදී රුපියල් බිලියන 7,737.82ක් වූ අතර ආයෝජන රුපියල් බිලියන 7,040.76ක් විය. කෙසේ නමුත් පසුගිය වසරේදී ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,493.19ක් දක්වා ඉහළ ගියද ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 7,064.00ක් පමණක් වී තිබේ. ඒ අනුව ණය සහ ආයෝජන අතර පරතරය 2024 වසරේදී පැවති මට්ටමට වඩා පසුගිය වසරේදී පුළුල් වී ඇත.

පසුගිය වසරේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පුද්ගලික අංශයට ලබාදී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 10,212.15ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2024 වසරේදී රුපියල් බිලියන 8,156.04ක් වී තිබේ. ඒ අනුව වසරක් තුළ පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

එසේම රජයේ බදු ආදායම පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 5.04ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, 2024 වසරේ රුපියල් ට්‍රිලියන 3.70ක් වූ බදු ආදායමට සාපේක්ෂව රුපියල් බිලියන 1,345කින් රජයේ බදු ආදායම ඉහළගොස් ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

තවද දත්ත අනුව 2024 වසරේ රුපියල් බිලියන 3,704.577ක් වූ බදු ආදායම පසුගිය වසරේදී රුපියල් බිලියන 5,049.19ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය වසරක් තුළ සියයට 36.3 ක පමණ වැඩිවීමකි. 2024දී රුපියල් බිලියන 2,181.03ක් වූ දේශීය භාණ්ඩ හා සේවා මත බදු ආදායම පසුගිය වසරේදී රුපියල් බිලියන 3,178.31ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කාණ්ඩය තුළ එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් ආදායම 2024දී රුපියල් බිලියන 1,309.68ක් වූ අතර පසුගිය වසරේදී එය රුපියල් බිලියන 1,746.87ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව වසරක් තුළ වැට් ආදායම රුපියල් බිලියන 437.19කින් පමණ වැඩි වී තිබෙන අතර එය සියයට 33.4ක පමණ වර්ධනයකි.