(සුජිත් හේවාජුලිගේ)

ගල්අඟුරු ගනුදෙනුවලට අදාල යම් යම් වැරදි ක්‍රියාමාර්ගවලට සම්බන්ධ බවට ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව බලශක්ති හිටපු අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඇතුළු ප්‍රධානීන් 18 දෙනෙකුට අද (29) දැනුම්දී ඇත.

මේ අනුව ඔවුන්ට එම චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව අවස්ථාව සලසාදී ඇත.

නීතිඥවරුන් මාර්ගයෙන්ද ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ හැකි බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

ගල් අඟුරු කොමිසමට අද මෙසේ කැඳවුණු කණ්ඩායමට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ප්‍රධානීන් ඇතුළු ඇතුළු පිරිසක්ද ඇතුළත් වෙති.

කොමිෂන් සභාවෙන් කෙරුණු දැනුම් දීමක් අනුව එම පිරිස ඊයේ එහි පෙනී සිටියේය.

මේ අතර ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොම්ෂන් සභාව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ගණකාධිකාරිවරයාගෙන්ද අද (29) ප්‍රකාශයක් සටහන් කරගත්තේය.

ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල 204කගෙන් ප්‍රකාශ 370ක් සටහන් කරගෙන ඇතැයි කොමිෂන් සභාව පවසයි.