(අංජුල මහික වීරරත්න)

වෙසක් සමයේ සැරසිලි සහ දන්සැල් සඳහා පොලිතීන් ප්ලාස්ටික් භාවිත කරන්න එපා යැයි මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරයි.

වෙසක් සමයේ  පහන් කුඩු ඇතුළු විවිධ සැරසිලි සඳහා ද විනෝදාස්වාදය සඳහා භාවිත කරන විවිධ මෙවලම් සඳහා ද දන්සැල් වැනි පුණ්‍ය ක්‍රියා සිදු කිරීමේ දී ද පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් නිර්මිත ද්‍රව්‍ය භාවිත කරනු නිරීක්ෂණය වී තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය  පවසයි.

එමෙන්ම දන්සැල් සංවිධාන කිරීමේ දී පොලිතීන් ලන්ච් ෂීට්, තනි භාවිත කෝප්ප, පිඟන්, හැදි, ගෑරුප්පු සහ කලතන ආදී ද්‍රව්‍යය ද පොලිතීන් ඉටිකොළ ද භාවිත කරනු දැක ගත හැකි බව පරිසර අධිකාරිය කියයි.

2341/30 දරන 2023 ජුලි මස 19 වැනි දිනැති ගැසට් පත්‍රය මගින් පුළුල් කරන ලද පොලිස්ටියරින් ආහාර බහාලුම්/ පෙට්ටි, ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, හැඳි, ගෑරුප්පු, පිහි, කලතන සහ ප්ලාස්ටික් මල්මාලා යන තනි භාවිත අයිතම ඇතුළු තවත් තනි භාවිත අයිතම ගණනාවක් ද 2034/34 දරන 2017 සැප්තැම්බර් මස 01 වැනි දිනැති ගැසට්‌ පත්‍රයට අනුව පොලිතීන් ආහාර දවටන එනම් පොලිතීන් ලන්චි ෂීට් විකිණීම, විකිණීම සඳහා අර්පණය, නොමිලේ ලබා දීම,ප්‍රදර්ශනය හෝ භාවිතය නීතියෙන් තහනම් කර ඇති අතර නීති කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.