එෆ්.අස්ලම්

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද (9) කැදවූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම තීරණයකින් තොරව අවසන් වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී මේ පිළිබඳ තවදුරටත් සළකා බලා පසුව තීරණයක් ගැනීමට යෝජනා විය.

වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් නොදීමත් දෙමළ ජනතාවගේ විශ්වාසය පළුදු වීමත් මත රජයට කිසිදු ආකාරයකින් සහාය දැක්වීමක් නොකළ යුතුයි යන ස්ථාවරයේ දෙමළ ජාතික සන්ධානයේ බහුතර මන්ත්‍රීන් පිරිසක් පසුවන බව එම සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පැවසීය.

මේ අනුව පාර්ලිමේන්තු කණ්ඩායම හෙට (10) සවස ද රැස්වී මේ පිළිබද සාකච්ඡා කිරීමට තීරණය කළ බවද එම මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්,මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ සුමන්තිරන් යන නියෝජිතයින් ඊයේ (8) සවස අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකර ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙම සාකච්ඡාවේදී අගමැතිවරයා රජයට එරෙහි විශ්වාසභංගයේ දී රජයට සහාය පළකරන ලෙසට දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා ඇති අතර ඊට පිළිතුරු වශයෙන් දෙමළ ජාතික සන්ධාන නායකත්වය සදහන් කර ඇත්තේ සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණය කළ යුතුව ඇති බවය.